පා.ම. දුමින්ද: පරාජය භාර ගන්න බැරි පිරිසක් ලංකාවේ බිහිවෙලා

ජූලි 23, 2019

    දේශපාලකයින් පරාජය භාර ගන්න බැරිම කොටස බවට පත්ව ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසයි.

    පරාජය වුවත් දිනපු පුද්ගලයාව වට්ටලා දැමීම පුරුද්දක් බවට පත්ව ඇතැයි ද අනුරාධපුර නැගෙනහිර නුවරගම් පළාත් අන්තර් සමාජ ප්‍රාදේශීය යෞවන සමාජ මළල ක්‍රීඩා උළෙලෙහි සමාප්ති උත්සවයට එක්වෙමින් ඔහු කියා සිටියේය.

    අනුරාධපුර උතුරු මැද පළාත් ක්‍රීඩා සංකීරණයේදී මෙම ක්‍රීඩා උළෙල පැවැත්විණ. එහිදී දක්ෂතම ක්‍රීඩා සමාජ හා දක්ෂතම ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සදහා ජය සංකේත ප්‍රධානය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා ඇතුළු ආරාධිතයින් අතින් සිදු කෙරිණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසානායක මහතා........

    ක්‍රීඩාවේ තියෙන ඉතාම සුවිශේෂී ගුණාංගය තමයි ජය-පරාජය දෙකම දරා ගන්න ක්‍රීඩාවෙන් හුරු කරනවා. අද ලංකාවේ පරාජය භාර ගන්න බැරිම කොටස බවට පත් වෙලා තියෙන්නේ දේශපාලනය. මැතිවරණයකදී කණ්ඩායමක් දිනනවා, අනෙක් කණ්ඩායම පරදිනවා, පැරදුන දවසේ ඉඳන් පැරදුන දේශපාලන කණ්ඩායම බලන්නේ ජයග්‍රහණය කරපු කණ්ඩායමේ කකුලෙන් අදින්න. ජයග්‍රහණය කරපු දේශපාලන පක්ෂයට රටක් , පළාතක් හෝ ප්‍රාදේශීය සභාවක් කර ගෙන යන්න අවස්ථාවක් ලබා දෙන්නේ නෑ, දිනපු අය දිනපු දවසේ ඉදන් පැරදුන අය විසින් ආපස්සට අදින්න තමයි කටයුතු කරන්නේ. ඒ නිසා තමයි අද අපේ රට දියුණු නොවී මේ තත්වයේ තියෙන්නෙ. දියුණුව සදහා එක අඩියක් ඉස්සරහට තියන කොට අඩි දෙක තුනක් ආපස්සට අදිනවා.

    හැබැයි ක්‍රීඩාවේදී නම් පැරදුන අය කිසිවෙක් මේ ජයග්‍රහකයින්ට ඊරිසියා කරන්නේ නෑ, පැරදුන අය යම් බලාපොරොත්තුවක් ඇති කර ගන්නවා ලබන වර්ෂයේ ජයග්‍රහණය කරන්න, දිනපු අයට කෙනෙහිළිකම් කරලාවත්, ඔවුන්ගේ කකුලෙන් ඇදලාවත් නෙමෙයි, තමන් පුහුණුවීම් කරලා, තමන්ගේ අඩුපාඩු හදුනාගෙන, තමන්ගෙන් වුණ අතපසුවීම් අදුරගෙන, ඒ අතපසුවීම් නැති කර ගන්න පුහුණුවීම් කරන එක තමයි ක්‍රීඩාව කියන්නේ. හැබැයි කරුමයට දේශපාලනය එහෙම නෙමෙයි. හැබැයි මේ දේශපාලඥයොත් අඩුම තරමේ පාසල් කාළයේදීවත් ක්‍රීඩාවක් කරලා තියෙනවා නම්, අඩුම තරමේ කණ්ඩායම් හැගීමෙන්වත් කණ්ඩායමකවත් ක්‍රීඩා කරලා තියෙනවා නම් මේ රටේ දේශපාලනයට මේ වගේ දෙයක් වෙන්නේ නෑ යැයි ඔහු කියා සිටියේය.

    Latest News