ගෝඨාභයට අපි නැතිව දිනන්න බෑ: SLFP ය පොහොට්ටුවට දිය කරන්නත් සූදානම් නෑ

අගෝ 13, 2019

    ඉදිරි ජනාධිපතිවරණය සඳහා සති තුන ඇතුළත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය ගන්නා බව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසයි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවත්සරය පැවැත්වෙන සැප්තැම්බර් 02 වැනිදා වන විට මෙම සාකච්ජා සාර්ථක වී අනාගතයේ රටේ ජනාධිපතිවරයා පත් කර ගන්නා පුළුල් සන්ධානය බිහි කර ගන්න හැකි වෙතැයි විශ්වාසයක් කරන බව ඔහු කියා සිටියේය. කිසිදු හේතුවකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය -පොහොට්ටුවට දිය කරන්න සූදානමක් නොමැති බවත් දුමින්ද දිසානායක මහතා පැවසීය.

    අනුරාධපුර, තලාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභ සාධක සමිතිය සඳහා පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ විමධ්‍යගත අරමුදලින් මෙම භාණ්ඩ බෙදා දීම සිදු කෙරිණි.

    dumindadissanayake1 px 900

    (අනුරාධපුර, තලාව කෝන්ගොල්ලෑව ගම්මානයේ එක්සත් සුභ සාධක සමිතියට පුටු හා ජල ටැංකියක් ප්‍රදානය කිරීම)

     එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා.......

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින්ට අපි පැහැදිලිවම කිව යුතු කාරණයක් තිබෙනවා, මේ රටේ ඉදිරි ජනාධිපතිවරණයේදී, පත්වන ජනාධිපතිවරයා කවුද කියන එකේ තීරණාත්මක බලවේගය වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒක පොහොට්ටුවට වේවා, එක්සත් ජාතික පක්ෂයට වේවා ප්‍රධාන කඳවුරු දෙකටම අපි නැතිව කිසිම ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ.

    පොහොට්ටුව ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට දිනන්න තව ලක්ෂ 15 අවශ්‍ය.......

    පොහොට්ටුව පැත්තේ ඡන්ද ලක්ෂ 50 ක් තිබුණට, ඡන්ද ලක්ෂ 65 ක් නැතිව ජනාධිපතිවරයෙක් හදන්න බෑ. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී කොට්ඨාස මට්ටමින් එක්කෙනක්ට ජන්ද 250 යි, තව එක්කෙනක්ට 300 නම් 300 ගත්ත කෙනා දිනුම්. හැබැයි ජනාධිපතිවරණයේ එහෙම නෙමෙයි, වැටෙන සමස්ථ ඡන්ද වලින් 50% කුත් එක් ඡන්දයක් ගන්න ඕන තනි පුද්ගලයෙක්. ඡන්ද ලක්ෂ 130 ක් වැටෙයි කියලා බලාපොරොත්තු වුණොත් හැටපන් ලක්ෂ එකක් ජන්දයක් ගන්න ඕන. පහුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ප්‍රථිපල ගත්තම පොහොට්ටුවට ලක්ෂ 50 යි, යූ.එන්.පී එකට ලක්ෂ 35 යි, ශ්‍රී ලංකා එකට ලක්ෂ 15 යි, ප්‍රාදේශීය සභා වැඩි ප්‍රමාණයක බලය ගියා පොහොට්ටුවට ඡන්ද ලක්ෂ 50 ක් නිසා, මේ ප්‍රථිපලයම වැටුණොත් ජනාධිපතිවරණයට පොහොට්ටුවේ කෙනා ජනාධිපති වෙන්නේ නෑ. එයාට ජන්ද පහලොස් ලක්ෂ එකක් අඩුයි. ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 35 ක් ගත්ත එක්සත් ජාතික පක්ෂයට තව ලක්ෂ තිහක් ඕන, ලක්ෂ 15 ක් තියෙන අපිට තව ලක්ෂ 50 ක් ඕන. එහෙම නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඡන්ද ලක්ෂ 15 නැතිව කාටවත් ජනාධිපතිවරයෙක් හදන්න පුළුවන්කමක් නෑ, දැන් ලක්ෂ 50 ක් තිබ්බට වැඩක් නෑ, ලක්ෂ 15 ව නැතිව.ඡන්ද ලක්ෂ 50 ක් තියෙන අය කොච්චර දැඟලුවත්, කෑගැහුවත් අපේ ලක්ෂ 15 නැතිව දිනන්න බෑ. අපේ ඡන්ද ලක්ෂ 15 තමයි තීරණාත්මක බලවේගය වෙලා තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂයත් ඡන්ද ලක්ෂ 35 ක් තියාගෙන අපි තමයි ජනාධිපති කිව්වට වැඩක් නෑ, ඉතුරු ලක්ෂ 30 හොයා ගත්තේ නැත්නම් ඒ ගොල්ලන්ටත් බෑ. ඒ අයටත් අපේ ඡන්ද ලක්ෂ 15 ආවොත් තමයි තව ලක්ෂ 15 ක් හොයා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. මේ දෙපැත්තටම තීරණාත්මක බලවේගය වෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ශක්තිමත් වෙන්න, ඔබතුමන්ලා කළ කිරෙන්න, දුක් වෙන්න අවශ්‍යතාවක් නෑ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව මේ රටේ ජනාධිපති හදන්න කාටවත් පුළුවන්කමක් නෑ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ.......

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොහොට්ටුවත් සමඟත් දැන් සාකච්ජා පවත්වාගෙන යනවා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමා සාකච්ජා කරලා තියෙනවා, ඉදිරියේදී තව සාකච්ජා කරනවා. හැබැයි සාකච්ජා වල තවම අවසන් තීන්දුවක් නෑ.අවසන් තීන්දුව ලැබුණට පස්සේ තමයි පක්ෂයක් ලෙස අපි එකතු වෙනාවද? කොහොමද? මොනවද? මොකක්ද ? කරන්නේ කියලා තීන්දු කරන්නේ. හැබැයි මොනම හේතුවක් නිසාවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය - පොහොට්ටුවට දිය කරන්න අපි සූදානම් වෙන්නේ නෑ. පහුගිය වතාවේ මහින්ද රාජපක්ෂ මහත්තයාට අගමැතිකම භාර දෙන කොටම මම ඇමතිකම භාර නොගෙන හිටියේ, මටත් තිබුණා අනෙක් අය වගේම ගිහින් ඇමතිකම් භාර ගන්න. මම ඇමතිකම භාර ගත්තේ නැත්තේ, ඇමතිකම භාර ගන්න කලින් අපිට තිබුණා ගණු-දෙණු කීපයක් බේරා ගන්න. මම ඇමතිකම අරගෙන මගේ වැඩේ බේරා ගත්තට හරියන්නේ නෑ. අපේ ආසන සංවිධායකවරු, ප්‍රදේශීය සභා පළාත් සභා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාක්ෂිකයෝ කියන මේ සියලු දෙනාගේ අනන්‍යතාවය ආරක්ෂා වෙන්නේ නැතිව අපිට පුළුවන්කමක් නෑ මේ වැඩේ ගොඩින් බේරා ගන්න. අපි පොහොට්ටුවට ගියා කියලා අපි නිකම්ම පොහොට්ටුවට දිය වුණොත් අපිත් එක්ක ඉන්න ශ්‍රී ලංකාකාරයොන්ට මොකද වෙන්නේ, අර ලැයිස්තුවේ අගටම නේද යන්න වෙන්නේ. දැන් ගියහම ඡන්දය වෙනකල් පිළිගනියි, ඡන්දේ ඉවර වෙනකල් අක්කේ, නංගියේ, මල්ලියේ සේරම කියලා කරේ තියාගනියි. හැබැයි ඡන්දෙන් පස්සේ අපි තමයි මේක හැදුවේ, උඹලා අවුරුදු ගණනක් එහා පැත්තේනේ ඒ නිසා ඉස්සරලා අපේ එවුන්ට කරලා තමයි, ඔයගොල්ලන්ට කරන්නේ කියයි.

    අගමැතිකම මහින්ද මහත්තයාට දුන්නත් අපේ මන්ත්‍රීවරයකුට වැඩක් කර ගන්න බෑ. මේකම නේද ඉස්සරහටත් වෙන්නේ........

    අදටත් අපේ මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභාවේ හිටියට, අපේ මන්ත්‍රීවරයකුගේ යෝජනාවකට වීදි ලාම්පුවක්වත් දාන්නේ නෑ. කොච්චර සාකච්ජා කළත්, මොනවා කලත්, අපි අගමැතිකම මහින්ද මහත්තයාට දීලත් සමහර ප්‍රාදේශීය සභා වලින් අපේ මන්ත්‍රීවරයකුට වැඩක් කර ගන්න බෑ. මේකම නේද ඉස්සරහටත් වෙන්නේ. ඒ නිසා තමයි අපි පක්ෂයක් විදිහට හරියට සාකච්ජා කරලා හරියට තේරුම් අරගෙන, හරියට කථා බහ කරලා තමයි මේ එකඟතාවය ඇති කර ගන්න ඕන. එහෙම නැතිව ඔහේ ගිහින් හිටගත්තා කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පාක්ෂිකයා ආරක්ෂා කරගන්න බැරිවෙනවා. ඒ නිසා පාක්ෂිකයින් කළබල වෙන්න එපා ඉදිරි සති දෙක තුන ඇතුළත අවසන් තීරණය ගන්නවා. අපේ පක්ෂයේ සංවත්සරය තියෙනවා සැප්තැම්බර් මාසේ 02 වැනිදා, අපි විශ්වාස කරනවා සැප්තැම්බර් 02 වැනිදා වන විට මේ සාකච්ජා සාර්ථක පැත්තට ගිහින් අපිට අනාගතයේ රටේ ජනාධිපතිවරයා අපි හදන පුළුල් සන්ධානය තුළ හදාගන්න පුළුවන් වෙයි කියලා අපිට විශ්වාසයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි කැපවෙලා වැඩකටයුතු කරනවා. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ කළකිරෙන්න, භය වෙන්න කිසිම වුවමනාවක් නෑ. හැබැයි ගමේ ඉන්න පාක්ෂිකයෝ දැන්ම තීන්දු - තීරණ ගන්න වුවමනාවක් නෑ. පක්ෂයක් ලෙස ඉහළින් පාක්ෂිකයා ආරක්ෂා කරන ක්‍රමවේදයෙන් පස්සේ , අපි පාක්ෂිකයින් දැනුවත් කළාට පස්සේ පාක්ෂිකයින්ට තීන්දුව ගත හැකියි.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ මුල, මැද, අග........

    මම ඉන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මම ශ්‍රී ලංකා කියාගෙන, මාව යවන්න එක පාර්ශවයක් මම යූ.එන්.පී යනවා කියලා කියනවා, තව පාර්ශවයක් ඒ අයට හයිය නැති නිසා මම ඒ පැත්තට එයි කියලා බලාගෙන ඉන්න කණ්ඩායමකුත් ඉන්නවා. මම තනි වෙලා ඉන්නවා, දෙපැත්තක අය මම යූ.එන්.පී යනවා කියලා කියනවා. ඉතාම පැහැදිලිව කියන්න ඕන කාරණයක් තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට ගන්න තීන්දුවක් ගන්නවා විනා, අපිට එහෙම පක්ෂ මාරු කරන්න අවශ්‍යයතාවක් නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන ඒ මහා දැවැන්ත පක්ෂය කාටවත් මරන්නවත්, විනාශ කරන්නවත් පුළුවන්කම ලැබුණේ නෑ. සිරිමාවෝ මැතිණියත් එක්ක තරහා වෙලා චන්ද්‍රිකා මැතිණියත් අලුත් පක්ෂ හැදුවානේ, හැබැයි අවසානයේ ඒ අලුතින් හදපු පක්ෂය මැරෙනවා, චන්ද්‍රිකා මැතිණිය නැවත වතාවක් තමන්ගේ මහ ගෙදරට එනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි අපේ මුල, මැද, අග. අපේ ආරම්භය වගේම අපේ අවසානය වෙන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මිසක් වෙනත් පක්ෂ නෙමෙයි යැයි වැඩිදුරටත් පැවසීය.

    Last modified on අඟහරුවාදා, 13 අගෝස්තු 2019 12:22

    Latest News