පාර්ලිමේන්තුව විසුරුවීම - පෙත්සම විභාගයට විනිසුරු 5ක් ඉල්ලයි

නොවැ 16, 2018
  • ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් වී තිබේ.

    මෙම නඩු විභාගයේ දී අතුරු පෙත්සම් ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, අමාත්‍ය උදය ගම්මන්පිල, ජගත් වැල්ලවත්ත ,ආචාර්ය චන්න ජයසුමන සහ නීතීඥ ප්‍රේම්නාත් දොලවත්ත යන මහත්වරු විසින් එම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

    එම ඉල්ලිම තුළින් සඳහන් කර තිබෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය පිළිබඳ සිද්ධිය සමාජයේ මහත් කැළඹීමකට ලක්වී ඇති කරුණක් බවයි.

    මේ හේතුවෙන් එම ක්‍රියාවලිය විනිසුරුවරු පස් දෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බවයි අතරමැදි පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා සිටින්නේ.

    ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, , ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය , නීතිඥ අරුණ ලක්සිරි සහ ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ සාමාජිකයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ඇතුළු පාර්ශව 13 ක් විසින් පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

    එම පෙත්සම් විභාගයට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය ජනාදිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මස 7 වැනිදා දක්වා ක්‍රියාත්මක කිරීම වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් ද ඉකුත් දා නිකුත් කරනු ලැබීය.

    Last modified on සිකුරාදා, 16 නොවැම්බර් 2018 16:41

    Latest News