''ජනපවුර'' දෙවන වැඩසටහන අනුරාධපුරයේ දී

ජූනි 29, 2019

    රට තුළ සිදු වන ළමා අපයෝජන අවම කරමින් ඔවුනට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උදා කර දීමේ මෙහෙවරෙහි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරත වෙමින් සිටි.

    ඒ අනුව එකී කාරණය සාක්ෂාත් කර ගැනීම සඳහා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පවත්වනු ලබන 'ජන පවුර' ජාතික වැඩසටහනේ දෙවන වැඩසටහන ජූලි 01 වන දින අනුරාධපුර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි පැවැත්වීමට අපේක්ෂිතයි.

    ශ්‍රි ලංකාවේ සෑම ගමකම පිහිටුවා ඇති සමිති හෝ සංවිධානයන්හී ක්‍රියාකාරිම නියෝජිතයින් කණ්ඩායමක් ජන පවුරේ සාමාජිකයින් ලෙස පත් කර ගනිමින් එම ප්‍රදේශවල සිදු වන ළමා අපයෝජනයන් හඳුනා ගැනීම හා ඊට අවශ්‍ය ක්ෂණික පියවර ගැනීම මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණයි.

    ජන පවුර ජාතික වැඩසටහනේ අනුරාධපුර දිස්ත්‍රික් වැඩසටහන, අනුරාධපුර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 22 ම ආවරණය වන පරිදි එකම මොහොතක පවත්වනු ලබන අතර, ජන පවුරේ සාමාජිකයින්ට ළමා ආරක්ෂාව පිළිබඳව අවශ්‍ය ප්‍රායෝගික මග පෙන්වීම හා පුහුණු කිරිම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මගින් සිදු කරනු ලැබේ. එමෙන්ම මෙමගින් අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ දරුවන් පාසල් නොයැවීම සම්බන්ධව පවතින ගැටලු හඳුනාගැනීම, දෙමාපියන් මත්ද්‍රව්‍ය භාවිතය නිසා පවතින ගැටලු හඳුනාගැනීම හා මව්වුරුන් විදේශගත වීම නිසා දරුවන් අගතියට පත්වූ අවස්ථාවන් හඳුනාගැනීම හා පිළියම් යෙදීම කෙරෙහිද විශේෂ අවධානයක් යොමු
    කරනු ලැබේ.

    මෙහි ප්‍රථම වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික්ක තුළ සාර්ථව අවසන් කරන ලද අතර, ඉදිරියේදි දිවයිනේ සියලුම දිස්ත්‍රික්කයන් ආවරණය වන පරිදි පැවැත්වීමටද අපේක්ෂිතයි. දරුවන් පිළිබඳව වගවීම සමස්ත සමාජයේම යුතුමක් වන අතර, සෑම දරුවෙක්ම අපේ යන සංකල්පයෙහි පිහිටා කටයුතු කිරිම රටේ සියලු පාර්ශවයන්ගේ යුතුකමක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතීඥ එච්.එම් අබයරත්න මහතා පවසයි.

    Latest News