ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව රැකීමට UN සමග සහයෝගයෙන් ක්‍රියා කරනවා...

ජූනි 26, 2019

    සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව, සමානාත්මතාවය හා ගෞරවය ආරක්ෂා කිරීමේ ජාතික වගකීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හා සෙසු අන්තර්ජාතික සහකරුවන් සමග සහයෝගයෙන් ක්‍රියාකරන බව ශ්‍රී ලංකා රජය පවසයි.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය අමතමින්, ශ්‍රී ලංකා දූත පිරිස මේ බව ඊයේ කියා සිටියේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 41 වැනි සැසිවාරය පසුගියදා ජිනීවා නුවර දී ආරම්භ විය. සමාරම්භක සැසිය අමතමින්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල මහකොමසාරිස් මිචෙල් බැචලට් මහත්මිය පසුගියදා ශ්‍රී ලංකාවේ හටගත් සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කළේය. ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රී ලංකා නියෝජිතයන් සැසිවාරය හමුවේ ඊයේ අදහස් පළ කළේය. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අනතුරුව, මෙරට වත්මන් තත්වය එහිදී පැහැදිලි කෙරිණ. ශ්‍රී ලංකා දූත පිරිස එහිදී පෙන්වා දුන්නේ සියලු ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා නීතියේ ආධිපත්‍ය සහතික කිරීමට කැපීපෙනන ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා රජය ගෙන ඇති බවයි. ත්‍රස්තවාදී ජාලයන් විනාශ කර දැමීම සඳහා එලදායී ක්‍රියාමාර්ග රජය ගෙන ඇති බව පෙන්වා දුන් ශ්‍රී ලංකා නියෝජිතයන් කියා සිටියේ, රජය අන්තර්ජාතික ආයතන සමග මේ පිළිබඳව සහයෝගයෙන් ක්‍රියා කරන බවයි.

    Last modified on බදාදා, 26 ජූනි 2019 11:59

    Latest News