හිටපු ජනපතිට ආරක්ෂිතව රටට එන්න ඉඩ සැලසිය යුතු බවට HR කොමිසමෙන් නිර්දේශ

අගෝ 23, 2022

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට, ඔහු  බලාපොරොත්තු වන ඕනෑම මෙහොතක ශ්‍රී ලංකාවට පැමිණීමට,ශ්‍රී ලංකා රජය ආරක්‍ෂාව සැපයිය යුතු බවට, නිර්දේශ කරන බව,  ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් මගින් දන්වා තිබෙනවා.

    ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරන්නේ, හිටපු ජනාධිපතිවරයාට ධූරයෙන් ඉවත් වීමට බලපෑම් සහ තර්ජනය කිරීම් හේතු වූ බවට ‍පැමිණිලි ලැබී ඇති බවයි. තවද, එම කාලය ඇතුළත හිටපු ජනාධිපතිවරයාට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට රජය අපොහොසත් වූ බවත්, මානව හිමිකම් කොමිසම සඳහන් කරනවා.

    හිටපු ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අයට  එල්ල වී ඇති තර්ජන හේතුවෙන් ඔහුට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකි  වී ඇති බවට පැමිණිලි ලැබි ඇති බවයි, එම කොමිසම වැඩිදුරටත් පවසන්නේ. ඕනෑම ශ්‍රී ලාංකික  පුරවැසියෙකුට, අවශ්‍ය ‍ඕනෑම මොහොතක තම මව්රටට පැමිණීමට හැකියාව  තිබිය යුතුයි. 

    එහිදී,  කිසිඳු ආකාරයකින් බලපෑමක් එල්‍ලවේනම්, එය නිසැකවම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බව, මානව හිමිකම් කොමිසම ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.

    සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමානයි. ‍එපමණක් නොව ශ්‍රී ලංකා නීතිය  තුළ හිටපු ජනාධිපතිවරයෙකුට හිමිවන විශේෂ වරප්‍රසාදවලට ද ගෝඨාභය රාජපක්ෂ මහතා හිමිකම් කියන බව, මානව හිමිකම් කොමිසම අවධාරණය කරනවා. එම නිසා, හිටපු  ජනාධිපතිවරයාට සහ ඔහුගේ පවුලේ අය‍ට ශ්‍රී ලංකාවට පැමිණීමට  ප්‍රමාණවත් ආරක්‍ෂාව සපයන ලෙස මානව හිමිකම් කොමිෂන් සභාව නිර්දේශ කරන බව, එම ආයතනය ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ සඳහන්.

    එසේම, හිටපු ජනාධිපතිවරයාට කිසියම් හෝ තර්ජනයක් ඇත්නම්, ඒ  පිළිබඳව පරීක්‍ෂණ පවත්වන ලෙසත්, එම කොමිසම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

    Latest News