UNP වෘත්තීය සමිති නියෝජිතයාගේ දේපළවලට හානිකළ අනුරාධපුර නගරාධිපති ඇතුළු 8ක් යළි රිමාන්ඩ්

ජූනි 24, 2019

    අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා, තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා, රාජාංගනය ප්‍රාදේශීය සභාවේ උපසභාපතිවරයා ඇතුළු සැකකරුවන් අට දෙනෙකු

    ලබන මස 08 වැනි දින දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් රමිලා නදීෂානි මහත්මිය නියෝග කළාය.

    සැකකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කෙරුණේ, ජනාධිපතිවරණය පැවති 1999 වසරේදී එක්සත් ජාතික පක්ෂයේ වෘත්තිය සමිති සංගමයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළෙ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරිකයෙකු වන වර්ථමාන අනුරාධපුර ආහාර හා ඖෂධ පරික්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ නිවසට යුද හමුදාව භාවිතා කරන විදේශිය අත්බෝම්බයකින් පහරදී දේපළ රැසකට බරපතල හානි කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්. 

    අනතුරුව වසර 20කට පසුව සැකකරුවන් තඹුත්තේගම පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී ඔවුන් අද දින (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබිණ.

    මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිළිවෙලින් එවකට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ප්‍රබල ආධාරකරුවන් වූ ජගත් චන්ද්‍රසිරි නමැති ග්‍රාම නිලධාරිවරයෙක්, නිහාල් වන්නිආරච්චි (රාජංගනය එකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා) රාජංගණය ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති හා වත්මන් උපසභාපති සමන් නිල්මිණි වීරසිංහ, රංජිත් ගුණපාල, තලාව ප්‍රාදේශිය සභාවේ සභාපති හා උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපතිවරයාගේ පුත් ඉන්දික උදයකුමාර තෙන්නකෝන් (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ), උතුරුමැද පළාත් සභාවේ හිටපු සභාපති ටී.එම්.ආර්.සිරිපාල, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)එච්.පී.සෝමදාස හා හා අද (24) අධිකරණයට ඉදිරිපත් වූ දැදිගමගේ ප්‍රේමසිරි යන සැකකරුවන්ය.

    1999 වසරේ දෙසැම්බර් මස 19 වන දින ජනාධිපති මැතිවරණ ප්‍රචාරක කටයුතු අවසන්වීමෙන් පසුව සැකකරුවන් පිරිස වෑන් රථ තුනකින් කඩු,පොලු හා අත්බෝම්බ රැගෙන සිය නිවසට කඩාවැදී පහරදී නිවසට හා දේපලවලට බරපතල අනර්ථයක් සිදුකල බව කියමින් එවකට රාජංගනය යාය නමය ලිපිනයේ පදිංචිව සිටි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු වූ ආනන්ද වේරගොඩ මහතා 1999 වසරේ දෙසැම්බර් 20 වැනිදා උදෑසන තඹුත්තේගම මූලස්ථාන පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණ.

    සැකකරුවන් පිරිස සිද්ධියෙන් වසර 19ක් මාස 6කට අධික කාලයකට පසුව තඹුත්තේගම මූලස්ථාන පොලිසියට භාරවීමෙන් අනතුරුව සැකකරුවන් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබු අතර, එක් සැකකරුවකු සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබිණ.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තඹුත්තේගම මූලස්ථාන පොලිසිය මගින් තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට පළමුව පසුගිය 17 වැනි දින ඉදිරිපත් කෙරිණි. එදින සැකකරුවන් අද (24) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර, අද නැවත එම නඩුව කැඳවූ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කරනු ලැබුවාය.

    පැමිණිල්ලෙහි සඳහන්ව ඇත්තේ සැකකරුවන් විසින් 1999 වසරේ දෙසැම්බර් මස 19 වැනිදා එනම් ජනාධිපති මැතිවරණයට දින දෙකකට පමණ පෙර අත්බෝම්බ ප්‍රහාරයක් එල්ලකර සිය නිවසට හා නිවසේ දේපලවලට අලාභ සිදුකර පසුව පලාගිය බවයි.

    නිවස ආසන්නයේ සැගවී සිය බිරිද කුඩා දරුවන් දෙදෙනා හා ඥාතින් දෙදෙනෙකු ඇතුළු පවුලේ උදවිය දිවි බේරාගත් බව එවකට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු වූ ආනන්ද වේරගොඩ මහතා පොලිසියට පැමිණිලි කරමින් කියා තිබිණ.

    දෙසැම්බර් මස 19 වැනිදා රාත්‍රියේ තමන්ට හා මිතුරෙකුට ප්‍රහාරයක් එල්ල කිරිමට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පිරිසක් පැමිණෙන බවට කල්තියා තොරතුරු ලැබී තිබුණ බවත් පැමිණිල්ලේ සදහන්.

    සැකකරුවන් කඩු, පොලු රැගෙනවිත් නිවසට කඩාවැදී ඉදිරිපිට නවතා තිබු දොර දෙකක බස් රථයකට හා තනි දොර බස් රථයකට, ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට හා රජයෙන් ලබාදුන් යතුරු පැදියකට පහරදී නිවසේ ගෘහ විදුලි උපකරන සම්පුර්ණයෙන්ම විනාශකර රුපියල් දස ලක්ෂයක පමණ අනර්ථයක් සිදුකර නිවසේ තිබූ රුපියල් 65000ක් පමණ වටිනා දේපල කොල්ලකා නිවස ඉදිරිපස කාමරයට අත්බෝම්බයක් වීසිකර පලාගිය බව පැමිණිල්ලේ සදහන්.

    සැකකරුවන් ප්‍රාහාරය සදහා පැමිණි වෑන් රථ 03ක ලියාපදිංචි අංක පැමිණිලිකරු විසින් පොලිසියට ලබාදී තිබූ අතර ප්‍රහාරයෙන් පසුව වෑන් රථ 02ක් රාජංගනය හංදිය දෙසට හා තවත් වෑන් රථ 02ක් තඹුත්තේගම දෙසට පලාගිය බවත්, විනාඩි 10ක් තුල සිදුවූ සිදුවීම තමන් විසින් වහාම තඹුත්තේගම පොලිස්ථානයේ ස්ථානාධිපතිවරයාට ජංගම දුරකථනයෙන් දැන්වූ බවත් පැමිණිල්ලේ සදහන්.

    තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන නඩු මෙහෙයුම් අංශය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ,
    නීතිපති විසින් අවස්ථා දෙකකදී නීති උපදෙස් මේ සම්බන්ධයෙන් ලබා දී තිබෙන බවයි.

    එහිදී පළමු නීතීපති වාර්ථාවෙන් පසු අදාළ ස්ථානයේ තිබූ නඩු භාණ්ඩ රජයේ රසපරීක්ෂක වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂක විසින් අදාළ නඩු භාණ්ඩයන් පීඩාකාරී අවිආයුධ පනතට ගැනෙන බවට දැනුම් දුන් බවද, ඒ අනුව රස පරීක්ෂක වාර්ථා සමඟ නීතිපතිට වාර්ථාවක් යොමු කළ බවත් ඒ අනුව නැවත නීතිපති උපදෙස් ලැබුණ බවත්, එහි සඳහන්ව තිබුණේ සැකකරුවන් ලෙස නම් සඳහන් අය, වැඩිදුර වාර්ථාවක් මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

    දෙපාර්ශවයේම කරුණු සැලකිල්ලටගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් සියලු දෙනා ජූලි මස 08 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකල අතර, අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයාට හා තලාව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට බන්ධනාගාර ආරක්ෂාව යටතේ මුදල් කාරක සභා සඳහා රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත් අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරි රෝහන ගලප්පත්ති මහතාට නියෝග කළාය.

    මෙම සිදුවීමට අදාළ පරීක්ෂණ කඩිනම් කරන ලෙසත්, නීතිපති උපදෙස් දින 14 ක් තුළ ලබා ගන්නා ලෙසත් විනිසුරුවරිය තඹුත්තේගම මූලස්ථාන පොලිසියට වැඩිදුරටත් නියෝග කළාය.සැකකරුවන් වෙනුවෙන් මහේෂ් කොටුවැල්ල, ශ්‍රීලාල් තලංගල්ල, සමන්ත හේරත්, නලීන් දිමුතු බංඩාර, උත්තරා අබේසිංහ, ඉදුනිල් හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු නීතිඥවරුන් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

    අගතියට පත් පැමිණිලිකාර ආනන්ද වේරගොඩ මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ කිත්සිරිද සිල්වා මහතා පෙනී සිටියේය. හිටපු අමාත්‍ය එස්.සී මුතුකුමාරණ මහතා ඇතුළු පිරිසක් නඩුව විභාගයට ගත් අවස්ථාවේ විවෘත අධිකරණයට පැමිණ සිටියහ. උතුරුමැද පළාත්භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ එල්.පී.එස්.පී සදුන්හගවත්ත අනුරාධපුර කොට්ඨාශභාර පොලිස් අධිකාරි තිලින හේවාපතිරණ යන මහත්වරුන්ගේ උපදෙස්මත ඒ තඹුත්තේගම මුලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එන්.ජේ.අතුකෝරල මහතාගේ මෙහෙයවීමෙන් නඩු මෙහෙයුම් අංශය සැකකරුන් අධිකරණයට ඉදිරිපත් කළේය.

    Last modified on සදුදා, 24 ජූනි 2019 12:45

    Latest News