"රාජ්‍ය සේවය ගමට" පස් වැන්න නාඋලට

ජූනි 23, 2019

    අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය එක් ව මාතලේ දිස්ත්‍රික්කය තුළ ආරම්භ කොට ක්‍රියාත්මක කරන රාජ්‍ය සේවය ගමට විශේෂ සහන සේවා වැඩසටහන් මාලාවේ පස්වැනි සහන සේවා වැඩසටහන ඊයේ (22) නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී.

    නාඋල ශ්‍රී නාග ජාතික පාසලේදී පැවැත්වූ මෙම සහන සේවා වැඩසටහන සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු රාජ්‍ය අමාත්‍ය රංජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විනි. මෙම සහන සේවා වැඩසටහන සදහා සේවාලාභීන් 4000 කට ආසන්න සංඛ්‍යාවක් සහභාගී වී සිටි අතර රාජ්‍ය ආයතන 75 කට අධික ප්‍රමාණයක් සේවා සැපයීම සදහා පැමිණ සිටියහ.

    ග්‍රාමීය ජනතාවගේ ගැටළු වලට විසදුම් ලබාදීමේ අරමුණින් ඉකුත් ජූනි 01 දින අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ ජංගම සේවා වැඩසටහන ආරම්භ කළ අතර, සෑම සති අන්තයකම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍ර කොට ගනිමින් මෙය ක්‍රියාත්මකය. මේ වන විට මාතලේ, රත්තොට, යටවත්ත, සහ උකුවෙල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ජංගම සේවා වැඩසටහන පවත්වා අවසන්ව ඇති අතර, එහිදී ජනතා ගැටළු 20,000 කට ආසන්න ප්‍රමාණයකට සහන සලසා තිබේ.

    අද (23) ලග්ගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    මෙමඅවස්ථාව සදහා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී විජේරත්න කවිරත්න මහත්මිය ඇතුළු මහජන නියෝජිතයන් රැසක් සහ මාතලේ දිස්ත්‍රික් ලේකම් එස්.එම්.කේ.ජී පෙරේරා මහතා ඇතුළු රජයේ නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ.

    Last modified on ඉරිදා, 23 ජූනි 2019 10:47

    Latest News