පාර්ලිමේන්තුව විසුරුවිමට එරෙහි පෙත්සම් විභාගය කල්තැබේ (වීඩියෝ)

නොවැ 12, 2018
  • පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපතිතුමාගේ නියෝගය නීති විරෝධි යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සම් හෙට (13) යළි විභාගයට ගැනීමට අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.
     ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මේ වන විට මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ඉදිරිපත් වී ඇත. අගවිනිසුරු නලින් පෙරේරා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනිණ. 
    එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, සමස්ත ලංකා මහජන කොංග්‍රසය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන්, විකල්ප, ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ නීතිඥ අරුණ ලක්සිරි ඇතුළු පාර්ශව විසින් පෙත්සම ඉදිරිපත් කෙරිණි.
    එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, මැතිවරණ කොමිසම සහ එහි සාමාජිකයන් නම් කර තිබේ.

    මෙම කරුණු විමසීම ආරම්භ වූ අවස්ථාවේ දී නීතිපති ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම් බවට අදාළ ලේඛන තමන් වෙත ලැබුණේ අද දිනයේ බවත් මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර දේශන ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය.

    එහෙත් අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීන්දු කළේ පෙත්සම් වලට අදාළ කරුණු විමසීම ආරම්භ කරන බවයි.

    පෙත්සම ඉදිරිපත් කර තිබූ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ කේ. කනගඊෂ්වරන් මහතා කරුණු ඉදිරිපත් කිරීම සිදුකලේය. ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ ඉකුත් 09 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය මුළුමනින්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ අවස්ථා දෙකකදී පමණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා ඉන් එක් අවස්ථාවක් වු පාර්ලිමේන්තුවේ නිල කාලය අවුරුදු හතර හමාර ඉක්මවා ගිය පසුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව කියා සිටියේය. පාර්ලිමේන්තුව විසුරුවා හරින මෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කර ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින අවස්ථාවක එය විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන බව ද මෙහිදී ජනාධිපති නීතිඥ කනගඊශ්වරන් මහතා අධිකරණය හමුවේ පෙන්වා දුනි.

    එම නිසා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය නීතිය ඉදිරියේ බලරහිත ප්‍රකාශනයක් බවත් එය අවලංගු කිරීමට අධිකරණයට බලයක් පවතින බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

    ඉන් අනතුරුව පෙත්සම්කාර එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා කරුණු ඉදිරිපත් කලේය. ජනාධිපති නීතිඥ මාරපන මහතා ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ඉකුත් සිකුරාදා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි. මේ ආකාරයෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට පටහැනිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයාට කිසිදු බලයක් නොමැති බවද ජනාධිපති නීතිඥ මාරපන මහතා කියා සිටියේය.

    එහිදී නීතිපතිවරයා ඉල්ලා සිටියේ හෙට දිනයේ ද කරුණු දැක්වීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසයි. ඒ අනුව පෙත්සම් විභාගය අද පස්වරු 5.20 අවසන් කර හෙට පෙරවරු 10.00 දක්වා කල් තැබීමට අගවිනිරු ඇතුලු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නියෝග කළේය.

    පෙත්සම්කරුවන් සඳහන් කර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ප්‍රකාරව මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. මෙම විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බව ද පෙත්සම්කරුවන් පෙන්වා දෙයි. මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙසත්, විභාගය අවසන් තීන්දුවක් ලබාදෙන ලෙසත් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය.
    ක්ෂණික කෙටි පණිවුඩ සේවාව සඳහා RuAlerts  සමග එක්වන්න..Ru News Alert Super 00238
    Last modified on අඟහරුවාදා, 13 නොවැම්බර් 2018 10:34

    Latest News