බෞද්ධාගම සටන් පාඨයක් වන විට දරු ප්‍රසූත 4500 කින් 4005 ක් සිසේරියන්

ජූනි 11, 2019

    ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මය ඇතැම් කණඩායම් වලට සටන් පාඨයක් වි ඇතැයි ඇමති රාජිත සේනාරත්න පවසයි.

    වෛද්‍ය විද්‍යාව පෝෂණය කිරීමට උපකාරී වන නවීකරණයට විරුද්ධ නොවන ලෙසත් ඔහු ඉල්ලා සිටියේය. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ 50 වන සංවත්සරය සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආයුර්වේද ඖෂධ සංස්ථා ශ්‍රවණාගාරයේ දී ඊයේ (10) පැවැත්විනි.

    “බටහිර වෛද්‍ය විද්‍යාව ද අද නවීකරණය වෙලා. සිසේරියන් සැත්කම් එදා තිබුනේ නැහැ. වෛද්‍යවරුන් රෝග නිශ්චය කළේ තම දැනුම අනුවයි. වර්තමානයේ සිසේරියන් සැත්කම් සහ වෛද්‍ය ෂාෆි ගැන කියනවා. අද දරු ප්‍රසූත 4500 ක් සිදු කළොත් 4005 ක් ම සිසේරියන් සැත්කම් කියලා කියනවා. එදාට වඩා කෙටි ක්‍රම අද ඇවිත් තිබෙනවා. රෝග විනිශ්ච්‍ය පහසු වී තිබෙනවා. නමුත් එදා රෝග විනිශ්චය සිදු කළේ බුද්ධියෙන්.” එම නිසා වෛද්‍ය විද්‍යාව පෝෂණය කිරීමට උපකාරී වන නවීකරණයට විරුද්ධ නොවන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඉල්ලා සිටියි.

    උත්සවය අමතා අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා -“ විවිධ රෝග සදහා බටහිර වෛද්‍ය ක්‍රමයේ නොමැති ප්‍රතිකාර ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ තිබෙනවා. සාම්ප්‍රධායික වෛද්‍යවරුන් සතුව පැවැති පුස්කොළ පොත් 600 ක් නූතන සිංහලයට පරිවර්තනය කිරීම, ආයුර්වේද ඖෂධ සංග්‍රහයක් ආරම්භ කිරිම පසුගිය කාලයේ මා විසින් දියත් කළා. සමහර ඖෂධ භාවිතා කිරීමේ දී අතුරු ආබාධ තිබුනත් සිංහල වෛද්‍ය ක්‍රමයේ එවැනි ආබාධ ඇති වන්නේ නැහැ. සිංහල වෛද්‍ය ක්‍රමය වෙදමහතෙකු වගේ නොව නවීන ක්‍රමයට සමාජ ගත කළ යුතුයි. විද්‍යාත්මකව දියුණූ කළ යුතුයි. කයිවාරු ගැහුවට එය ලෝකය පිළිගන්නේ නැහැ. බටහිර ඖෂධ මෙන් අපි ආයුර්වේද ඖෂධ පිළිබදව ද පර්යේෂණ පැවැත්විය යුතුයි. පර්යේෂණ පවත්වා ඔප්පු කිරීම තුලින් එය ලෝකයට හදුන්වා දෙන්න පුළුවන්. නාවින්නේ පිහිටි බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනය මගින් පර්යේෂණ ආරම්භ කරන විටත් ඇතැමි අය විරුද්ධ වුනා.

    ශ්‍රී ලංකාවේ බෞද්ධ ධර්මය කියන්නෙත් සමහරුන්ට සටන් පාඨයක්. සටන්පාඨ වලින් වැඩක් නැහැ. අපේ සංස්කෘතිය, ආගමදහම, දේශීය වෛද්‍ය ක්‍රමය ඉන්දියාව සමග සංකලනය වී තිබෙනවා. කයිවාරු ගහලා රට දියුණූ වන්නේ නැහැ. කයිවාරු වලින් නොව, කටුක ගමනකින් ගිය රටවල් අද දියුණූ වී තිබෙනවා. මා බලයට පත් වූ පසු දේශීය වෛද්‍ය විද්‍යාව දියුණු කිරීමට සහයෝගය ලබාදුන්නා. බටහිර වෛද්‍ය ඔසුසල් මෙන් ආයුර්වේද ඔසුසල් ද නවීකරණය කිරීමට පියවර ගත්තා. එම නවීකරණයට ද ඇතැමුන් විරුද්ධ වුනා. ආයුර්වේදය කියා නම සටහන් කළාට ඖෂධ මිල දී ගන්නේ නැහැ. නවීකරණය කළ යුතුයි. විද්‍යාවේ සීමා බන්ධන නැහැ” යැයි ඔහු කියා සිටියේය.

     

    Latest News