ගෝඨාභයට එරෙහි කෞතුකාගාර නඩුව 19 සිට විභාගයට

මැයි 23, 2019

    හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහත ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුව ජූනි මස 19 වැනිදා සිට විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නියම කළේය.

    සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නියෝග කරනු ලැබීය. අද නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නඩුවේ විභාගය ජූනි මස 19 වනදා සිට ආරම්භ කිරීමට නියම කළ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල එදින සාක්ෂිකරුවන් 4 දෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සිතාසි ද නිකුත් කළේය.

    ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කරුණු දක්වමින් තම සේවාදායකයාට මේ මස 24 වනදා සිට ජුනි මස 02 වනදා දක්වා කාලසීමාව තුළ වෛද්‍ය ප්‍රතිකාර සහ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා සිංගප්පූරුවේ සංචාරය කිරීමට අවසර ලබාදෙන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ සඳහා රාජපක්ෂ මහතාට දැනට පණවා තිබෙන විදෙස් ගමන් තහනම අදාළ කාල සීමාව සඳහා තාවකාලිකව ලිහිල් කරන ලෙසයි ජනාධිපති නීතීඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඊට රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ වසන්ත පෙරේරා මහතා විරෝධය පළ නොකළේය. ඒ අනුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් අදාළ කාල සීමාව සඳහා විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශගත වීම සඳහා අවසර ලබා දුනි.

    විත්තියේ නීතිඥවරු විසින් කළ ඉල්ලීමක් පිළිගත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගය දුරකථන හා ෆැක්ස් මාර්ගයෙන් ආගමන හා විගමන පාලකවරයා වෙත යොමු කිරීමට පියවර ගන්නා මෙන් ද නියම කළේය.

    ඉකුත් රජය සමයේ හම්බන්තොට මැදමුලන ප්‍රදේශයේ ඩී. ඒ .රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේ දී රුපියල් මිලියන 33.9 ක රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සහ ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා, එම සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජිකයින් ඇතුළු හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 11:34

    Latest News