ආරක්ෂාව තහවුරුයි..දරුවන් හෙට පාසල් වෙත යවන්න - යුධහමුදාපති (වීඩියෝ)

මැයි 20, 2019
  • සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ප්‍රමුඛතම කාර්ය ලෙස සළකා සියලු ආරක්ෂාව ලබාදී තිබෙන බැවින් දරුවන් හෙට දිනයේ සිට පාසල වෙත යැවීමට කටයුතු කරන ලෙස යුධහමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඉල්ලා සිටියි. 

    මේ වසරේ දෙවැනි වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබුණ ද බොහෝ දෙමාපියන් පැතිරගිය කටකතා හා තහවුරු නොකරගත් තොරතුරු හේතුවෙන් දරුවන් පාසලට එවීමට මැළිකමක් දක්වන බවයි යුධ හමුදාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

    මෙහිදී වැඩිදුරටත් අදස් දැක්වූ යුධ හමුදාපති මහේෂ් සේනානායක....

    පසුගිය අප්‍රේල් 21 වැනිදින සිදුවූ අවාසනාවන්ත ත්‍රස්තප්‍රහාරය හේතුවෙන් සමාජයේ ඇතිවූ කම්පනය හා බියනිසා ශ්‍රී ලාංකිකයන්ගේ ජන ජීවිතයේ බොහෝ කටයුතු අඩාල විය. මේ සිදුවූම සමග රටේ සංවර්ධනයට හා ආර්ථිකයට සෘජු දායකත්වයක් ලබා දෙන රජයේ හා පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සේවයට වාර්තා කිරීමේ අඩුවීමක් හා ජනජීවිතයට අඩාල වීමක් සිදුවිය. එම නිසා රට තුළ ආරක්ෂාව තහවරු කර ජනජීවිතයට යථා තත්වයට පත් කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය දැඩි කැපවීමෙන් අවශ්‍ය සෑම ස්ථානයකට ආරක්ෂාව ලබා දිමට කටයුතු කළේය. ත්‍රස්ත ප්‍රහාරය සිදුව කෙටි කාලයක් තුළ අතිගරු ජනාධිපතිතුමා විසින් යුධ හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාවට හා සාමය ආරක්ෂා කිරීමට හා ත්‍රස්තවාදීන් විනාශ කිරීමට අවශ්‍ය සියලු බලතල ලබාදුන් බැවින් යුද්ධ හමුදාව ත්‍රස්තයන් විනාශ කිරිමට හා ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීමට සියලුම මොහෙයුම් සඳහා අවශ්‍ය දායකත්වය ලබාදෙමින් සිටියි. එම මෙහෙයුම් ඉතාමත් සාර්ථකව, ප්‍රගතියකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක වෙමින් පවතී.


    ත්‍රස්තවාදීන් ඉලක්ක කරගත් ආරක්සක අංශ මෙහෙයුම් හා රට තුළ යොදාඇති ආරක්ෂක වැඩපිළිවෙළ හේතුවෙන් රජයේ හා පෞද්ගලික අංශවල සේවක සේවිකාවන්ගේ සේවයට පැමිණීම හා සාමාන්‍ය ජන ජීවිතයට පවත්වාගෙන යාම වර්තමානයේ ඉතා සතුටුදායක ලෙස වර්ධනය වී ඇත. මේ වසරේ දෙවැනි වාරය සඳහා පාසල් යළි විවෘත කළ මොහොතේ පාසල්වල ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර තිබුණ ද බොහෝ දෙමාපියන් පැතිරගිය කටකතා හා තහවුරු නොකරගත් තොරතුරු හේතුවෙන් දරුවන් පාසලට එවීමට මැළිකමක් දක්වයි.

    සියලුම පාසල් සඳහා ආරක්ෂාව සැපයීම ත්‍රිවිධ හමුදාව හා පොලීසියේ ප්‍රමුඛතම කාර්ය ලෙස සළකා සියලු ආරක්ෂාව ලබාදී තිබෙන බැවින් දරුවන් හෙට දිනයේ සිට පාසල වෙත යැවීමට කටයුතු කරන ලෙස දන්වයි. ත්‍රස්තප්‍රහාරයෙන් පසුව ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩ ක්‍රියා කිහිපයක් වාර්තා වුවද ඊට සම්බන්ධ වූවන් නීතිය ඉදිරියට ගෙන ඒමට කටයුතු කර තිබේ. එවැනි ප්‍රචණ්ඩ ක්‍රියා යළි ඇති නොවීමට ත්‍රිවිධ හමුදාව හා පොලීසිය විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා තිබේ. පසුගිය වෙසක් උත්සවය වෙනුවෙන් දිවයිනම ආවරණය වන ලෙස විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ අතර ඒ හේතුවෙන් කිසිඳු සාමය කඩ කිරීමකින් තොරව වෙසක් උත්සවය වෙනුවෙන් පැවැත්වූ ආගමික වැඩසටහන් ඉතාම සාර්ථකව සිදුකිරීමට හැකිවිය. රට රකින ජාතිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අප රටේ සියලු පුරවැසියන්ගේ දේපලවලත් ආරක්ෂාව වෙනුවෙන් සැමවිටම කැපවීමෙන් සිටින බවත් අප රටේ අනාගතය වන ළමා පරපුර ආරක්ෂා කිරීම ප්‍රමුඛත්වයක් ලෙස සළකා පාසල්වලට ආරක්ෂාව සපයා ඇති හෙයින් සියලු සිසු දරුවන් පාසල් වෙත යොමුකරන ලෙස ඉල්ලා සිටියි. අප විසින් දියත්කර ඇති ආරක්ෂක වැඩසටහන වෙනුවෙන් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ අවංක සහයෝගය ලබා දෙන ලෙස ඉල්ලා සිටියි.

    Last modified on සදුදා, 20 මැයි 2019 14:56

    Latest News