ඇමතිනී විජයකලාගේ LTTEය සම්බන්ධ ප්‍රකාශය....ඉදිරි ක්‍රියාමාර්ග අධිකරණය දැනුවත් කරන්න

මැයි 10, 2019

    කොටි සංවිධානය යළි නඟාසිටුවිය යුතු යැයි ප්‍රකාශයක් කළ බව කියන ඇමතිනී විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අධිකරණය දැනුවත් කරන්නැයි සිහි කැඳවීමක් කර තිබේ.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් අද(10) නීතිපතිවරයා වෙත මෙම සිහි කැඳවීම යොමු කර ඇත.

    මෙම නඩුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය අධිකරණයට කරුණු දක්වමින් මෙම සිද්ධිය පිළිබඳ පරීක්ෂණ අවසන් කර වාර්තා සියල්ල නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවත් නීතිපති උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව ද දන්වා තිබේ.

    මෙහිදී සැකකාර විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කේ.වී. තවරාසා මහතා අධිකරණයට දන්වා සිටියේ වර්තමානයේ රට තුළ මතු වී තිබෙන නීතියේ කඩා වැටීම පිළිබඳව තම සේවාදායකයා සිය කතාව ඔස්සේ අදහස් පළ කර කිරීමට උත්සාහ කර ඇති බවයි. ඒ තුළින් නීතිය උල්ලංඝනය වීමක් සිදු වී නොමැති බවත් ඇය නිදහස් කරන ලෙසත් ජනාධිපති නීතිඥවරයා ඉල්ලා ඇත.

    මෙහිදී මහේස්ත්‍රාත්වරිය නියම කළේ මෙම සැකකාරිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව අධිකරණය දැනුවත් කරන මෙන් දන්වා නීතිපතිවරයා වෙත සිහිකැඳවීමක් යොමු කරන බවයි.

    අනතුරුව පැමිණිල්ල ජුලි මස 26 වනදා කැඳවීමට ද මහෙස්ත්‍රාත්වරිය නියම කර ඇත.

    Latest News