විපක්ෂ නායක මහින්ද - අගමැතිගෙන් කාරක සභාවක් ඉල්ලයි

මැයි 08, 2019

    යෝජිත ප්‍රතිත්‍රස්ත පනත පිළිබඳව අධ්‍යනයක් සහ විමර්ෂණයක් කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන ලෙස විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

    ආණ්ඩුව විසින් ඉදිරිපත් කර ඇති ප්‍රති ත්‍රස්ත පනත සම්බන්ධයෙන් ජන සමාජයෙන් විරෝධය එල්ල වෙමින් පවතින බව විපක්ෂ නායක මාධ්‍ය ඒකක නිකුත් කළ නිවේදනයේ සඳහන්වේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂ ගණනාවක් විරෝධය පල කර ඇති බව එහි සඳහන්වේ.

    මේ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදි කියා සිටියේ ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ගෝනිබිල්ලෙක් මවන අය ගෝලීය ත්‍රස්තවාදයට උඩගෙඩි දෙන්නන් බවයි. නීතිරාමුව ශක්තිමත් කරමින් එකමුතුව අත්වැල් බැදගෙන ත්‍රස්තවාදයට මුහුණ දිය යුතු බව ඔහු කියා සිටියේය. මේ කෙටුම්පතට මූලික අයිතිවාසිකම් උල්ලංඝණය කිරීමට හැකියාවක් නොමැති බවත් පෙන්වාදුනි.

    අගමැති රනිල් වික්‍රමසිංහ මහතා “අහන්න කැමතියි මේකේ ත්‍රස්තවාදීන්ට දෙන සහන පැකේජය මොකක්ද කියලා. ප්‍රභාකරන්ට පස්සේ එල්ටීටීඊ නායකයා වෙච්චි කේ.පී. ලංකාවට ගෙනල්ලා සියලු සැප සම්පත් දුන්නු එකයි සහන පැකේජය. මේකේ කිසිම ත්‍රස්තවාදියෙකුට සහන පැකේජයක් නැහැ. ශ්‍රී ලංකාවේ මෙන්ම විදේශයක දී සිදු කරන ත්‍රස්තවාදී ක්‍රියාවන් ලංකාවේ නීතියට අනුව වරදක් බවට පත් කිරීමට අවශ්‍ය පසුබිම මේ තුන්වෙනි වගන්තියේ නිර්වචනය මඟින් ඇති කරලා තියෙනවා. ඒ නිසා ගෝනිබිල්ලෙක් මවා පෑමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ නිසා අප විසින් සිදු කළ යුත්තේ පටු දේශපාලන භේද මති මතාන්තර පසෙක තබා පවතින නීති රාමුව ශක්තිමත් කර ගනිමින් එකමුතුව ත්‍රස්තවාදයට මුහුණ දීමයි. අද ශ්‍රී ලංකාවේ ජනතාව මේ පාර්ලිමේන්තුවේ සිටින මහජන නියෝජිතයන් 225 දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එයයි. ඒ සඳහා ප්‍රතිත්‍රස්ත පනත පොදු එකඟතාවයෙන් ඉදිරි දිනක දී සම්මත කරගැනීමට සහාය වන ලෙස මා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

    මීට අමතරව තවත් නීති වුවමනා වනවා නම් අප එම නීති ද සම්පාදනය කිරීමට පියවර ගත යුතුයි. ප්‍රචණ්ඩත්වය හා අන්තවාදය නැති කිරීමට අප සූදානම්. මෙම ප්‍රතිත්‍රස්ත පනතේ වගන්ති පිළිබඳව ගැටලු තිබෙනවා නම් ඒ ගැන අප සාකච්ඡා කර සංශෝධන ඉදිරිපත් කරමු“ යැයි ඔහු කියා සිටියේය.

    Latest News