සහරාන් හෂීම්ගේ DNA පරීක්ෂාවකට අවසර

මැයි 06, 2019

    මරාගෙන මැරෙන ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම්ගේ DNA පරීක්ෂාවක් සිදු කිරීමට අධිකරණය නියෝග කර ඇත.

    ෂැංග්‍රිලා හෝටලෙයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් නැමැත්තා එම පිපිරීමේදී මියගොස් ඇති බවට සිදු කළ විමර්ශනවලදී අනාවරණය කර ඇතැයි කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද(06) කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා හමුවේ දැනුම් දී ඇත.

    මියගොස් ඇති බව කියන ත්‍රස්ත සංවිධානයේ නායකයාගේ සොයුරියක් මේ වන විට මඩකලපුව බන්ධනාගාරයේ සිටින බැවින් සැකකාරියගේ සහ ත්‍රස්ත නායකයාගේ DNA පරීක්ෂණයක් සිදු කිරීමට අවසර ලබා දෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    එම ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වවරයා බන්ධනාගාර ගත කර සිටින සහරාන්ගේ සොයුරිය අම්පාර රෝහල වෙත ගෙන්වා රුධිර සාම්පල ලබා ගෙන ඒවා රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කර DNA පරීක්ෂණයක් සිදු කර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂකවරයා වෙත නියෝගයක් නිකුත් කර ඇත.

    කොළඹදි බෝම්බ පුපුරුවා හරින ලද බෝම්බ කරුවන්ගේ හිස කොටස් සහ ශරීර කොටස්වල රසායනික ද්‍රව්‍ය අඩංගු වී ඇත්ද යන්න සොයා බැලීමට එම ශරීර කොටස් රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත් වරයා ඒ සඳහා ද අවසර ලබා දුන් අතර ඒවා පරීක්ෂා කර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රජයේ රස පරීක්ෂක වරයා වෙත නියෝගයක් නිකුත් කළේය.

    එමෙන්ම බෝම්බ කරුවන් ප්‍රවාහනය කළ බව කියන මේ වන විට පොලිස් අත්අඩංගුවේ ඇති වාහන 7 බෝම්බ ඇතුලු පුපුරණ ද්‍රව්‍යය ප්‍රවාහනය කර ඇද්ද යන්න සොයා බැලීමට රජයේ රස පරීක්ෂක වරයා වෙත යොමු කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ ඉල්ලීමට මහේස්ත්‍රාත් වරයා අවසර ලබා දුන්නේය.

    මෙම වාහන භාවිතා කර ඇත්තේ පුද්ගලයන් ප්‍රවාහනයට පමණක් බව එම වාහන හිමිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටි අතර එසේ අනාවරණය වන්නේ නම් වාහන මුදා හැරීමට කටයුතු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

    එමෙන්ම මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති දෙමටගොඩ මහවිල උද්‍යානනයේ පදිංචි කුළුබඩු අපනයන කරුවකු වන ඊබ්‍රහිම් මොහොමඩ් නැමැත්තාට ත්‍රස්ත ව්‍යාපාරයට ලබා දීමට ජාත්‍යන්තරයෙත් මුදල් ලැබී තිබේද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන බව කියා සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට අයත් ආයතනයේ ගණකාධිකාරී වරයා අත්අඩංගුවට ගෙන ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවත් කියා සිටියේය.

    ෂැංග්‍රිලා සහ කිංග්ස්බරි හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් වෙනුවෙන් කාමර දෙකක් වෙන් කර ඇත්තේ එකම පුද්ගලයෙක් බවට විමර්ශන අනාවරණය කර ඇතැයි කී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුද මේ වනවිට බෝම්බ ප්‍රහාරයකින් මියගොස් ඇති බවට සිදු කළ විමර්ශන අනාවරණය කර ඇතැයි කියා සිටියේය.

    කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ පුපුරුවා හරින ලද බෝම්බය හේතුවෙන් විදේශ ජාතිකයන් 24ක්ද ශ්‍රී ලාංකිකයන් 12ක්ද මියගොස් ඇති බවත් විදේශිකයන් 12ක් ඇතුලුව 24 දෙනෙක් තුවාල ලබා ඇති බවත් මහේස්ත්‍රාත් වරයාට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිංග්ස්බරි හෝටලයේ බෝම්බ ප්‍රහාරයෙන් විදේශීය ජාතිකයකු ඇතුලු තුන්දෙනෙකු අතුරුදහන් වී ඇති බවත් කියා සිටියේය.

    පොලිස්පතිවරයාගේ උපදෙස් මත දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව සිදු කළ විමර්ශන ප්‍රගතිය අධිකරණයට දන්වා සිටිමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මූල්‍ය කොට්ඨාසය මේ බව කියා සිටියේය.

    Last modified on සදුදා, 06 මැයි 2019 19:20

    Latest News