උමාඔය ඩයරබා වේල්ලේ ඉදිකිරීම් 92% කින් අවසන් (වීඩියෝ)

අප්‍රේ 13, 2019

    උමාඔය ඩයරබා වේල්ලේ ඉදිකිරීම් 92% කින් අවසන් තිබේ. උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි නිම්න සංවර්ධනය යටතේ ඉදිවන විශාලතම ජලාශය මෙයයි.

    වැලිමඩ, බණ්ඩාරවෙල මාර්ගයේ ඩයරබා ප්‍රදේශයෙන් ගලා යන මාතැටිල්ල ඔය හරස්කර ඉදිකෙරුණු වේල්ලේ උස මීටර් 50ක් හා දිග මීටර් 165 ක් වේ. එමගින් නිර්මාණ වන ජලාශයේ ධාරිතාව ඝන මීටර් නව ලක්ෂ හැත්තෑදහස ඉක්මවයි. ඊට නුදුරින් ඉදිවන පුහුල්පොල ජලාශ වේල්ල හා සමානව ඩයරබා ජලයේ වේල්ල ද ඉදිවන්නේ රෝල්ර් සම්පීඩිත කොන්ක්‍රීට් තාක්ෂණයෙනි. එය මඩසොරොව් තුනකින් හා වාන් දොරටු තුනකින් සමන්විතයි. බණ්ඩාරවෙල විසල් ජල සම්පාදන යෝජනා ක්‍රමයේ පානීය ජල අවශ්‍යතා සැපයෙන්නේ ඩයරබා ජලාශයෙනි.

    මෙහි ඇති විශේෂත්වය වන්නේ ඇල්ල, කරඳගොල්ලේ ඉදිවෙන භූගත ජලවිදුලි බලාගාරයට කිලෝමීටර් 15.5 උමගක් ඔස්සේ ජලය යොමු කිරීමයි. එම උමගේ ඉදිකිරීම 80% පමණ ප්‍රගතියක් අත් කර තිබේ. ප්‍රධාන උමගේ කැණීම් සිදුකිරීමට ඉතිරිව ඇත්තේ මීටර් 1800කි. එම කැණීම සිදු කර උමගේ බිත්ති ආවරණය කිරීම ඉදිරි වසර ඇතුළත නිම බව ව්‍යාපෘති අධ්‍යක්ෂ ආචාර්ය සුනිල් ද සිල්වා මහතා පවසයි.

    ඉරාන රජයේ මූල්‍ය ආධාර හා ශ්‍රී ලංකා රජය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක මෙම දැවැන්ත ව්‍යාපෘතියට වැඩිම ඉංජිනේරුමය හා තාක්ෂණික දායකත්වය සැපයෙන්නේ ද ඉරාන රජයෙනි. මීට අමතරව ෆින්ලන්ත හා ස්විට්ස්ර්ලන්ත සමාගම් ව්‍යාපෘතියේ ඉංජිනේරුමය උපදේශකත්වය සපයනු ලැබේ.

     

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 22:08

    Latest News