ජාතික අපේක්ෂා සම්පූර්ණ කිරීමට අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් පෙළගැසෙමුයි - ජනපති

අප්‍රේ 14, 2019

    මිහිතලය මත ජීවයේ පැවැත්ම පිණිස හිරු සඳු නමැති සාධක අතිශයින් තීරණාත්මක වූ හෙයින් දුරාතීතයේ සිටම මිනිස්සු මේ ග්‍රහවස්තු යුගලයට බැතියෙන් වන්දනාමාන කළහ. සොබාදහම දේවත්වයෙන් සැළකීම සාමාන්‍ය ජනතාවගේ මෙන්ම රජුගේ ද පිළිවෙත විය.

    මේ අනූව, වාර්ෂිකව හිරු සඳු වන්දනා කිරීමට මෙරට ජනතාව අවුරුදු සමයෙහි පෙළඹුණහ. වාර්ෂිකව බක් මාසයේ හිරුගේ මුදුන් වීම උත්සවශ්‍රීයෙන් සමරන සිංහල හා දෙමළ ජනතාව, නව වර්ෂය සඳහා නව සඳ බැලීමේ චාරිත්‍රය ද ඉටු කරති.

    වාර්ෂික සූර්ය සංක්‍රාන්තියත් සමඟ එළැඹෙන අලුත් අවුරුද්ද යනු මිනිසා, පරිසරය හා සොබාදහම වන්දනය කිරීමේ උළෙලකි. අස්වනු නෙළා ගෙට ගැනීමෙන් අනතුරුව බුදුන්ට, දෙවියන්ට පූජා කොට, ඉන් පසු පරිභෝජනයට ගන්නා මේ සමය සැබැවින්ම සන්තුෂ්ටියේත්, සාමූහිකත්වයේත්, අන්‍යෝන්‍ය සම්බන්ධතා වර්ධනයේත් සමය ලෙස ද, ජනතාව ස්වකීය ජාතික අනන්‍යතාව ප්‍රකාශ කරන අවස්ථාවකි. බක් යනුවෙන් මේ මාසය හඳුන්වනුයේ එය භාග්‍ය සම්පන්න කාලයක් වන බැවිනි. ගස් වැල්වල නව මල්ළල හටගැනෙන, සොබාදහමේ සියලු ප්‍රකාශයන්හි උද්දාම බවක් දක්නට ලැබෙන මේ කාලසීමාව සතුටු උදාවක් බැවින් එය අලුත් අවුරුද්ද ලෙස හඳුන්වමු.

    අලුත් අවුරුද්ද නමැති අනර්ඝ සංස්කෘතික උත්සවය වෙළෙඳපොළ යන්ත්‍රණයේ පරිභෝජනවාදී මතවාදයට ගැතිව ඇති කලෙක එහි ගැඹුරු හරය තේරුම් ගැනීම පිණිස මෙවර අපගේ අවධානය යොමු විය යුතුය. ස්වභාව ධර්මයේම දරුවන් වන අපි එය අපට බැහැරින් ඇති යමක් ලෙස සළකා ඊට අවහිර කළෙමු. දැන් අප එළැඹ සිටිනුයේ සොබාදහම සමඟ ඒකාත්මික වීමේ අවශ්‍යතාව වඩ වඩාත් දැනෙන මොහොමතක් වෙතය.

    මෙතෙක් අප ලබා ඇති ජයග්‍රහණයන්හි ඵල භුක්ති විදිමින්, ජාතික අපේක්ෂා සම්පූර්ණ කර ගැනීමට අපි මේ අලුත් අවුරුද්දේ එක්සිත්ව අධිෂ්ඨානයෙන් යුතුව පෙළගැසෙමුයි යොජනා කරමින් අලුත් අවුරුදු ප්‍රීතිය අත්විඳින මෙරට ආදරණීය ජනතාවට මෙන්ම, එතෙර දිවි ගෙවන සියලු ශ්‍රී ලාංකික ජනතාවට සෞභාග්‍යයෙන් යුත්. සාමකාමී සුබ අලුත් අවුරුද්දක් වේවායි ප්‍රාර්ථනා කරමි.

    Last modified on ඉරිදා, 14 අප්‍රේල් 2019 08:13

    Latest News