ඉක්මනින් ගමට යන්න අධිවේගයට නව පහසුකමක්

අප්‍රේ 11, 2019

    උත්සව සමයේ අධිවේගී මාර්ගවල අධික තදබදය අවම කිරීමට පිටවීමේ දොරටු සංඛ්‍යාව වැඩි කර තිබේ.

    අධිවේගී මාර්ග නඩත්තු සහ මෙහෙයුම් අධ්‍යක්ෂ සමන් ඕපනායක මහතා පවසන්නේ, මේ නිසා වාහනවලට කෙටි කාලයක් තුළ පිටවීමට හැකි වනු ඇති බවයි. ඇතුළු වීමේ දොරටු තාක්ෂණිකව පිටවීමේ දොරටු බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. හුවමාරු මධ්‍යස්ථානයකින් පැයක දී දැනට පිටවන 240ක් වන වාහන සංඛ්‍යාව, 400 දක්වා වැඩි කෙරෙන බවයි ඕපනායක මහතා පවසන්නේ. මීට අමතරව, උත්සව සමයේ අධිවේගී මාර්ග ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

    අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසය, විශේෂ කාර්ය බලකාය ඊට යොදා තිබේ. අධිවේගී මාර්ගවලට වාහන විශාල සංඛ්‍යාවක් ඇතුළු කිරීමෙන්, ආපදාවලට ලක්වන වාහන සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බවයි, වාර්තා වන්නේ. එම නිසා හදිසි අවස්ථාවල දී කඩිනමින් සහය ලබා ගත හැකි පරිදි ඔසවාගැනීමේ සහ ඇදගෙන යාමේ රථ කිලෝමීටර් 30න් 30ට ස්ථානගත කර තිබේ. අධිවේගී මාර්ගය භාවිත කිරීමේ දී වාහනයේ කාර්මික තත්වය පිළිබඳ දැඩි සැලකිලිමත් වන ලෙසත්, අධික තෙහෙට්ටුව අවස්ථාවේ දී වාහන ධාවනයෙන් වැළකී සිටින ලෙසත් රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 11 අප්‍රේල් 2019 19:39

    Latest News