ETI මුදල් අහිමි වූවන්ගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අප්‍රේ 04, 2019

    ETI මූල්‍ය සමාගම සහ අධ්‍යක්ෂවරු සතු දේපළ සහ බැංකු ගිණුම් තහනම් කිරීමේ නියෝගයක් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ.

    ETI මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් අදාළ පෙත්සම ඉදිරිපත් කර ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව, එහි අධිපතිවරයා සහ එහි මුදල් මණ්ඩලයේ සාමාජිකයින්, ඊ.ටී.අයි මූල්‍ය සමාගම සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය, පොලිස්පතිවරයා, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු 18 දෙනෙකු නම් කර තිබේ.

    අදාළ සංගමය කියා සිටින්නේ ETI මූල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව යටතේ ලියාපදිංචි සමාගමක් බවයි. නමුත් ගනුදෙනු කරුවන් විසින් එම සමාගමේ තැන්පත් කළ මුදල් මේ වන විට දැඩි වංචාවට ලක් වී තිබෙන අවස්ථාවක ඒ සඳහා මැදිහත් වී ගනුදෙනුකරුවන්ට සහනයක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව අසමත්ව සිටින බව පෙත්සම්කරුවෝ චෝදනා කරති.

    එම නිසා මෙම තැන්පත් කරුවන්ගේ අර්බුදයට මැදිහත් වී ඊට විසඳුමක් ලබාදෙන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින එම සංගමය ETI සමාගම සහ අධ්‍යක්ෂවරු සතු නිශ්චල හා චංචල දේපළ මෙන්ම බැංකු ගිණුම් තහනම් කිරිමට පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝග නිකුත් කරන මෙන් ඉල්ලා සිටී.

    එමෙන්ම අදාළ දේපළ වෙන්දේසි කොට තැන්පත්කරුවන්ට සහනයක් සලසා දී දීමට පියවර ගන්නා ලෙසද ශ්‍රී ලංකා මහ බැංකුවට නියෝගය කරන මෙන් එම පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලීම් කර තිබේ.

    Latest News