ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ නඩුව යළි සැප්තැම්බර් 25

ජූනි 30, 2020

    අහිමි වූ සිය තැන්පතු මුදල් ආපසු ගෙවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සැප්තැම්බර් මස 25 වනදා යළි කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    මෙම පෙත්සම අද අග විනිසුරු ජයන්ත ජයසූරිය, එල්. ටී. බී දෙහිදෙණිය සහ එස්.තුරෙයි රාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි කැඳවනු ලැබුවා.

    එහිදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය නොවන ආයතන අංශය විසින් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරමින් ඊ.ටී.අයි සමාගමේ කටයුතු අත්හිටුවීම සඳහා අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලීමක් කළා.

    එම ඉල්ලීමට විරෝධය පළ කළ පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා ඊ.ටී.අයි සමාගමේ කටයුතු පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ මේ දිනවල විවිධ ආන්දෝලනාත්මක කරුණු හෙළිදරව් වෙමින් පවතින හෙයින් එම තත්ත්වය වසන් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් නීතිපතිවරයා හරහා මෙම මෝසම ඉදිරිපත් කර තිබෙන බව චෝදනා කර සිටියා.

    ඊ. ටී. අයි. ආයතනය තුළ සිදුවන අක්‍රමිකතා පිළිබඳව වසර ගණනාවක් නිහඬව බලා සිටි ශ්‍රී මහ බැංකු නිලධාරීන් අදාල සමාගම අත්හිටුවීමට තැන්පත්කරුවන් ද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ එකඟ වූ බව ජනාධිපති කොමිසම හමුවට ගොස් පෙන්වීම සඳහා නීතිපතිවරයා මාර්ගයෙන් මෙම මෝසම ඉදිරිපත් කර ඇති බවත් එම ඉල්ලීමට තමන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් චෝදනා කළා.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපත් කළ මෙම මෝසම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය කිසිදු නියෝගයක් කළේ නැහැ.

    අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 25 වනදා කැඳවීමට ද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා.

    ETI සමාගම සතු වත්කම් අත්පත් කරගෙන මුදල් අහිමි වී සිටින තැන්පත්කරුවන්ගේ තැන්පත් මුදල් ආපසු ගෙවන වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ලෙස ශ්‍රී ලංකාව මහ බැංකුවට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා එම මුදල් අහිමි වූ තැන්පත්කරුවන්ගේ සංගමය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.

    Latest News