ETI හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප

ජන 15, 2021

    රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඊ.ටී.අයි.සමාගමේ අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, සහ දීපා එදිරිසිංහ යන සිව්දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

    ඇප පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු උපකල්පනයන් මත පදනම් වී තිබෙන බවයි.

    ඒ අනූව සැකකරුවන් සිවු දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය නොවන හෙයින් ඔවුන් ඇප මත මුදාහැරීමට නියෝග කරන බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

    ඒ අනූව එක් එක් සැකකරුවන් රුපියල් ලක්ෂ 10 බැගින් වු මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරන බව ද සදහන් කළේය.

    ඊට අමතරව සෑම මසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට වාර්තා කළ යුතු බවයි මහේස්ත්‍රාත්වරයා විසින් සැකකරුවන් වෙත ඇප කොන්දේසියක්ද පනවනු ලැබීය.

    ඇප පිළිබඳ ඉල්ලීමේ තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 (2) වගන්තිය යටතේ පුරවැසියෙකුගේ නිදහස නීතියට පටහැනි ආකාරයෙන් අහිමි නොකළ යුතු බවට අවධාරණය කර ඇතැයි පැවසීය.

    එමෙන්ම යම් පුද්ගලයෙකු අධිකරණයක් මගින් වරදකරු කරන තුරු ඔහුගේ නිර්දෝෂී භාවය පිළිබඳ පූර්ව නිගමනයක් පැවතිය යුතු බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අවධාරණය කර තිබෙන බවද මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

    ඇප පනතේ අභිලාෂයන් සලකා බැලීමේදී ඇප ලබාදීම රීතියක් වශයෙන් පවතින බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා යම් පුද්ගලයෙකුට ඇප නියම කිරීම ප්‍රතික්ෂේප කිරීමට අදාළ වන කරුණු ඇප පනතේ 14 (1) වගන්තිය යටතේ සඳහන් කර ඇතැයිද පෙන්වා දුන්නේය.

    සැකකරුවන්ගේ ඇප ප්‍රතික්ෂේප කොට ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලමින් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කරුණු උපකල්පනයන් මත පදනම් වන බවයි මහේස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ.

    සැකකරුවන්ට ඇප ලබා දුනහොත් ඔවුන් අධිකරණය මගහැර යා හැකි බවටත් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළ හැකි බවටත් පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කාරණා තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

    මෙම සිද්ධිය පිළිබඳව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලැබූ ජනාධිපති කොමිසමක් මගින් ද විමර්ශන පවත්වා පුළුල් ලෙස සාක්ෂි සටහන් කර තිබෙන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එම සාක්ෂි අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇතැයි ද සඳහන් කළේය.

    එසේ තිබියදී සැකකරුවන් විසින් ඇප ලබා දීමෙන් පසුව සාක්ෂිකරුවන්ට බලපෑම් සිදු කළ හැකි බවට සහ ඔවුන් අධිකරණය මගහැර යා හැකි බවට පැමිණිල්ල විසින් ඉදිරිපත් කරන කාරණා විශ්වාස කිරීමට හේතු විය හැකි කරුණු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

    ඇප පනතේ 14 (1) වගන්තියට අනුව සැකකරුවන්ට ඇප ලබා දුනහොත් මහජන කැළඹීමක් ඇති විය හැකි හෙයින් ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලෙස පැමිණිල්ල මෙන්ම අගතියට පත් තැන්පත්කරුවන්ගේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ද අධිකරණයෙන් ඉල්ලා සිටි බව මහේස්ත්‍රාත්වරයා සිහිපත් කළේය.

    සැකකරුවන් විසින් සිදු කළ බව කියන අපරාධය නිසා තැන්පත්කරුවන් හතළිස දහසකට අධික පිරිසක් අගතියට පත් වී සිටින බවත් ඔවුන් දිනපතා උද්ඝෝෂණය කරමින් සිටින බවටත් අගතියටපත් පාර්ශවයේ නීතිඥවරු අධිකරණය හමුවේ සඳහන් කර තිබිණ.

    එහෙත් මෙම තත්ත්වය "මහජන කැළඹීම්" යනුවෙන් පිළිගත නොහැකි බවයි, මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ.

    ඒ අනූව ඇප ප්‍රතික්ෂේප කොට සැකකරුවන් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පැමිණිල්ල විසින් ඉදිරිපත් කර තිබෙන ඉල්ලීම තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් කරුණු අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැති හෙයින් සැකකරුවන් ඇප මත මුදාහැරීමට තීන්දු කරන බවත් මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේ සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් පැවසීය.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන්ට ඇප නියම කරන්නේ නම් අවම වශයෙන් රුපියල් බිලියනයක ඇපයක් නියම කරන ලෙසත් ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    ඉන් අනතුරුව මෙම ඇප නියෝගය 1 ප්‍රකාශයට පත් කළ වයිෆ්ටත්වරයා නඩුව නැවත මැයි මස 20 වනදා කැඳවන ලෙසද නියම කළේය.

    Latest News