නවක වෛද්‍ය සැපයීම් සහකාර නිලධාරීන් 54 කට පත්වීම්

අප්‍රේ 04, 2019

    නවක වෛද්‍ය සැපයීම් සහකාර නිලධාරීන් 54 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී පසුගියදා පැවැත්විනි.

    මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක නොකිරිම සදහා දේශපාලන සහ මුදල් බලපෑම් එල්ල වුනා. නමුත් මම ඖෂධ ප්‍රතිපත්තිය එම බලපෑම් පසෙකලා ක්‍රියාත්මක කළා. අහිංසක මිනිසුන්ගේ රිරි මාංශ උරා බොමින් ලබාගන්නා මුදල් මට අවශ්‍ය නැහැ. ඇතැම් සෞඛ්‍ය සේවකයින් ද කෙටි මාර්ගවලින් සල්ලි හම්බ කරන්න හදනවා. ක්ෂණික මාර්ග ඔස්සේ යන්න එපා. නිවැරදිව වැඩ කරන්න. ලැබෙන වරප්‍රසාද භූක්ති විදිමින් හොදින් සේවය කරන්න. රෝගීන්ට අවශ්‍ය ඖෂධ, වෛද්‍ය උපකරණ නිසි ‍වේලාවට ලබාදෙන්න. වෛද්‍ය සැපයුම් සහකාර පත්වීම් ලබාදීම පිළිබදව ප්‍රශ්නයක් තිබුනා. එය විසදීමෙන් අනතුරුව මෙම පත්වීම් ලබාදීමට අපි තීරණය කළා.”

    වෛද්‍ය සැපයුම් සහකාර නිලධාරීන් බදවා ගැනීමට ගත් තීරණය අගය කරමින් සෞඛ්‍ය අමාත්‍යවරයාට වෛද්‍ය සැපයුම් සහකාර නිලධාරී සංගමය විසින් උපහාර තිළියක් ද පිරිනමන ලදි.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වසන්තා පෙරේරා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් එක්ව සිටියහ.

    Latest News