මාතරට "ජර්මන් ටෙක්" එකක් හදන්න යූරෝ මිලියන 11ක්

මාර් 27, 2019

    ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ස්ථාපනය කිරීමට යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළ කර තිබේ.

    මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යව සිටිය දී 2015 වසරේ කළ ඉල්ලීමකට අනුව ජර්මන් රජය මෙම එකඟතාවය පල කර ඇත.

    උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල වරම් නොලබා සමාජ ගත වන තරුණ තරුණියන් අපේක්ෂාභංගත්වයෙන් මුදවා ගනිමින් ජාත්‍යන්තර මට්ටමේ කාර්මික තාක්ෂණික පුහුණුව ලබා දීම රජයේ අපේක්ෂාවයි. වෙළෙඳපොළ අවශ්‍යතාවට සරිලන විධිමත් පුහුණුවක් පිරිනමමින් හැකියාවන්ගෙන් පිරි තරුණ පිරිසක් ජාතික ආර්ථිකයට දායාද කිරිමට රජය ගෙන ඇති පියවර මෙමගින් සාර්ථක වනු ඇති.

    ජර්මානු ආධාර යටතේ ඇරඹි පළමු ආයතනය ශ්‍රි ලංකා ජර්මානු කාර්මික තාක්ෂණික ආයතනයයි. 1958 දී දෙරට අතර අත්සන් තැබූ ගිවිසුම අනුව එය මොරටුව කටුබැද්දේ ස්ථාපනය කෙරිණි. එය රථ වාහන ඉංජිනේරුවන් බිහි කිරීමේ ප්‍රධානතම ආයතනය ලෙස අදටත් පවතී.

    මාතර දී ඉදි කිරීමට නියමිත මෙම ජර්මානු තාක්ෂණික පුහුණු ආයතනය තුළින් තරුණියන්ට තාක්ෂණික වෘත්තීය පුහුණුව ලබා දීමට අමතරව රටේ අනෙකුත් තාක්ෂණික විද්‍යායාතනලවලට අවශ්‍ය පුහුණුකරුවන් හා උපදේශකයන් පුහුණු කිරීමට යොදා ගැනේ.

    මෙවැනි පුහුණු ආයතනයක් ජර්මන් සහය ඇතිව කිලිනොච්චිය ප්‍රදේශයේ 2016 වසරේ දී ඉදි කෙරිණි. දෙවැනි තාක්ෂණික ආයතනය මාතර ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙමගින් දකුණේ තරුණ තරුණියන්ට තාක්ෂණික වෘත්තීය දැනුම ලබා ගැනීමට අවස්ථාව උදා වනු ඇත.

    Last modified on බදාදා, 27 මාර්තු 2019 13:53

    Latest News