‘යොවුන්පුරය 2019‘ වීරවිලෙන් ඇරඹේ

මාර් 27, 2019

    රට පුරා විසිරි සිටින ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට රට දිනන අරමුණට මංපෙත් විවර කරන්නටත්, ලොව පුරා විසිරුණු විදෙස් තාරුණ්‍යයට නැවුම් අත්දැකීම් ලබමින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් හා දැනුම, කුසලතා හා නායකත්ව හැකියා බෙදාහදා ගන්නටත් දස වැනි ‘යොවුන්පුර’ කඳවුරු භූමිය අද (27) වීරවිල දී ආරම්භ වේ.

    ජාතික තරුණ සේවා සභාව හා ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය සමඟ එක්ව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, වෘත්තීය පුහුණු නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ “යොවුන්පුරය – 2019” අදින් අරඹා මේ මස31 දින දක්වා වීරවිල පශු සම්පත් සංවර්ධන භූමියේ දී පැවැත් වෙන්නේ තරුණ තරුණියෝ 8000ක ගේ සහභාගීත්වයෙනි.

    ජාතික සංහිඳියාවට සාර්ථක අර්ථකථනයක් වූ මේ කඳවුරු භූමියේ අන්‍යොන්‍ය අවබෝධයකින් යුතුව තම අත්දැකීම් නිදහසේ බෙදාහදා ගැනීමට වත්මන් තරුණ පරපුරට ඉඩකඩ විවර කර දී ඇත. ජාතික ප්‍රතිපත්ති කළමනාකරණය කිරීම, ආර්ථික කටයුතු සහ සංවර්ධනය වඩාත් සාර්ථකත්වය කරා ගෙනයෑමටත්, මත්ද්‍රව්‍ය නිවාරණයෙන් ජාතිය ගොඩනැඟීමේ කර්තව්‍යයටත් දායක වීමට අවශ්‍ය දැනුම සහ අවබෝධය මේ කඳවුරු භූමියේ දී ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරම් රැසක් පෙළගැස්වෙමින් පවතී. දින ගණනාවක සිට වීරවිල කඳවුරු භූමියට එක්රොක් වූ පෙරගමන්කරුවෝ එහි මූලික කටයුතු ලහි ලහියේ සූදානම් කරන අයුරු දැකගන්නට ලැබුණි. තම ජවය, ශක්තිය සහ පසුනොබසින වීර්යයේ ධෛර්යය මතින් කර්කෂක පොළව මත රන් අස්වනු බීජ වපුරන්නට අද වනවිට එම පෙරගමන්කරුවන්ට හැකියාව ලැබී ඇත.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් අනුව ආරම්භ කළ “යොවුන්පුරය” තුරුණ කඳවුර වර්තමානයේ ජාතික තරුණ සේවා සභාවේ සභාපති නීතීඥ එරන්ද වැලිඅංගේ මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ මඟපෙන්වීම යටතේ යෞවන සමාජ සම්මේලනයේත්, ජාතික තරුණ සේවා සභාවේත් නිලධාරීන්ගේ පූර්ණ කැපවීම මත අද යථාර්ථයක් බවට පත්ව තිබේ.

    තරුණ තරුණියන්ගේ අන්‍යොන්‍ය අවබෝධය වැඩි දියුණු කරගැනීම සඳහා අධ්‍යාපන, ක්‍රීඩා, සංස්කෘතික , විනෝද වැඩසටහන් සාමුහිකත්වය සහ සහජීවනය පදනම් කොට ගත් ක්‍රියාකාරකම් රැසක් ද මෙහිදී ක්‍රියාවට නැංවේ. තරුණ තරුණියන්ගේ ආරක්ෂාව වඩාත් ශක්තිමත් කරමින් ඊට සමගාමීව සෞඛ්‍ය, අධ්‍යාපනික සහ යටිතල පහසුකම් නිවැරදිව යුහුසුළුව සපයා දීමට අවශ්‍ය සියලු පහසුකම් සපයා දී ඇත. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව හා සෑම අමාත්‍යාංශයකින් ම විශාල දායකත්වය ලබා දී තිබේ. “සිහින පෙන්වීමට නොව පාර පෙන්වීමට” සැරසෙන මේ කඳවුරු භූමියේ අවසන අත්දැකීම් බහුල කාර්යශූර තරුණ පරපුරක් අනාගතයට දායාද කිරීමට බලාපොරොත්තු වේ.

    Last modified on බදාදා, 27 මාර්තු 2019 14:02

    Latest News