ප්‍රංශ ජනාධිපති කෙටි චාරිකාවක් සඳහා අද රාත්‍රී ශ්‍රී ලංකාවට

ජූලි 28, 2023

    ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා කෙටි චාරිකාවක් සඳහා අද රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණෙනවා.

    ශ්‍රී ලංකාවේ රාජ්‍ය චාරිකාවක යෙදෙන ප්‍රථම ප්‍රංශ ජනාධිපතිවරයා ලෙසයි ඔහු ඉතිහාසයට එක්වන්නේ.

    එමානු‍වෙල් මැක්‍රොන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට ලඟා වන්නේ, ශාන්තිකර කලාපීය රටවල් කිහිපයක දින 5 ක් පුරා චාරිකා කිරීමෙන් අනතුරුවයි. ඔහු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා. නායකයින් දෙපළ කලාපීය සහ ගෝලීය අභියෝග පිළිබඳව සාකච්ඡා කිරීමට සැලසුම් කර තිබෙනවා. ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශය සඳහා නව ආසියා ශාන්තිකර කලාපීය ප්‍රතිපත්තියක් හඳුන්වා දී තිබෙනවා.

    45 හැවිරිදි එමානුවෙල් මැක්‍රොන් ප්‍රංශයේ ජනාධිපති පදවියට පත් වූයේ 2017 වසරේදී. ඔහු ඉතිහාසයට එක්වන්නේ, ප්‍රංශයේ ජනාධිපති පදවියට පත්වූ ලාබාලතම පුද්ගලයා ලෙසයි. මැක්‍රොන් නියෝජනය කරන්නේ, 2016 වසරේ ස්ථාපනය කරනු ලැබූ රෙනේසාන්ස් නම් වන පක්ෂයයි. ජනාධිපති පදවිය ලැබීමට ප්‍රථම ඔහු, ප්‍රංශයේ ආර්ථික අමාත්‍ය පදවිය හොබවා ඇති අතර, වෙළෙඳපොළ මිත්‍රශීලී ප්‍රතිපත්ති රැසක් හඳුන්වා දීමට ඔහු සමත් වුණා. ඔහු සිය දෙවැනි ජනාධිපති ධුර කාලය සදහා තේරී පත්වූයේ 2022 අප්‍රේල් මස පැවති ජනාධිපතිවරණයෙන්.

    බටහිර බලාධිකාරියෙන් මිදී ස්වාධීන ගෝලීය බලවතෙකු ලෙස ප්‍රංශය පවත්වා ගැනීම මැක්‍රොන්ගේ අපේක්ෂාවයි. ඔහු ශාන්තිකර කලාපයේ අමෙරිකානු-ඔස්ට්‍රේලියානු බලපෑමට විකල්ප මතයක සිටින අතර, චීනය සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන යාමට උත්සුක වනවා. ප්‍රංශය, යුරෝපා සංගමයේ ප්‍රබලතම සාමාජිකයෙකු ලෙස පවත්වා ගැනීමත්, මැක්‍රොන්ගේ අපේක්ෂාවක්. ප්‍රංශය, ශ්‍රී ලංකාව සමග ශක්තිමත් ආර්ථික සබඳතා පවත්වාගෙන යන රාජ්‍යයක්. 2021 වසරේ සංඛ්‍යාලේඛණ අනුව, ශ්‍රී ලංකාව ප්‍රංශය සමග අමෙරිකානු ‍ඩොලර් මිලියන 246 ක වෙළෙඳ ගණුදෙනු සිදු කර ඇති අතර, ඉන් ශ්‍රී ලංකාවට අත්වූ වෙළෙඳ වාසිය අමෙරිකානු ඩොලර් මිලියන 108 ඉක්මවනවා. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ශ්‍රී ලංකා චාරිකාව දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් ලෙසයි සලකනු ලබන්නේ.

    Latest News