අපෙන් නැවක් ප්‍රං‍ශයට

ජූලි 28, 2023

    කොළඹ නැව් තටාකාංගණ සමාගම යුරෝපීය රටකට නිෂ්පාදනය කළ පළමු සමුද්‍රීය කේබල් ඇදීමේ නෞකාව ප්‍රංශය වෙත බාර දීම, අද සිදු කෙරුණා.

    ඒ, කොළඹ නැව් තටාකාංගණ පරිශ්‍රයේ දී. මින්, මෙරටට හිමි වූ ආදායම යූ‍රෝ මිලියන 50 ක් බව, කොළඹ නැව් තටාකාංගණ සමාගම සමාගම පවසනවා. මෙම නෞකාව නම් කර ඇත්තේ "සොෆි ජර්මෙයින්" නමින්. නෞකාව මීටර 100 ක දිගින් යුත්ත අතර, පලල මීටර 18 කට අධිකයි. ප්‍රංශයේ ඔරේන්ජ් මැරයින් සමාගම සඳහා නෞකාව නිපදවා තිබෙනවා. නෞකාව නිපදවීම සඳහා මුළුමනින්ම ශ්‍රමදායකත්වය ලබා දුන්නේ, ශ්‍රී ලාංකීය ඉංජිනේරුවරුන්.

    කොළඹ නැව් තටාකාංගණය නිෂ්පාදනය කළ 256 වැනි නෞකාව මෙයයි. ෆයිබර් ඔප්ටික් සහ විද්‍යුත් රැහැන් ගබඩා කිරීම සඳහා ස්වයංක්‍රීය පද්ධතියක් මෙහි සවි කර තිබෙනවා. එම ගබඩාකරන කේබල් ස්වයංක්‍රීයව මුහුදු පතුලේ ඇදීමේ ක්‍රියාවලියට අවශ්‍ය උපකරණ ගණනාවකින් මෙම නෞකාව සමන්විතයි. නෞකාව බාර දීමේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති ජීන් ෆැන්කොයිස් පැක්ටට්, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙයාකි, කොළඹ නැව් තටාකාංගණයේ සභාපති හිදෙයාකි තනාකා මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. නෞකාවේ පුද්ගලයන් 76 දෙනෙකුට රාජකාරියේ නිරත වීම සඳහා පහසුකම් පවතිනවා. යුරෝපීය සහ ආසියාතික නැව් හිමියන්ගේ සංගම් "කලම්බු ඩොක්යාඩ් සමාගම" පිළිබඳව දැඩි විශ්වාසයක් තබා ඇති අතර, ඉදිරියේ දීත් ඔවුන්ගේ අවශ්‍යතා අනුව නෞකා ලබා දීමට ඩොක්යාඩ් සමාගම සූදානම්.

    Latest News