සල්ලි දීල ගන්න රේටින්

මැයි 31, 2023

    රූපවාහිනී නාලිකා ශ්‍රේණි ගත කිරීම ‍හෙවත්, රේටින් ක්‍රමවේදය නිවැරදි නොවන බවත්, එය අක්‍රමවත් සහ පක්ෂග්‍රාහී ආකාරයට සිදු වන බවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසනවා.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්ය සාධනය පිළිබඳ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටු සාකච්ඡාවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව, එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වුණා. 2019, 2020 සහ 2021 වර්ෂවල විගණකාධිපති වාර්තාව සහ කාර්ය සාධනය පිළිබඳව කෝපා කමිටුවේදී සාකච්ඡා වුණා.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කළේ, රේටිං ලබා ගැනීම ගණනය කිරීම සඳහා අහඹු ලෙස තෝරා ගත් රූපවාහිනී යන්ත්‍ර 400 ක පමණ උපකරණ සවිකොට, දත්ත ලබා ගන්නා බවයි. මෙහිදී ප්‍රධාන මාධ්‍ය ආයතන තුනක් පමණ එම ගණනය කිරීම් සිදු කරන ආයතනවලට මුදල් ලබාදී මෙම උපකරණ සවි කළ රූපවාහිනී යන්ත්‍ර 300 ක් පමණ මිල දී ගෙන ඇති බවත්, මේ නිසා ලැබෙන දත්ත නිවැරදි නොවන බවත්, අනූෂ පැල්පිට මහතා පෙන්වා දුන්නා.                                                      

    රාජ්‍ය මාධ්‍ය සඳහා පෞද්ගලික මාධ්‍ය ආයතනවලට වඩා වැඩි වගකීමක් පවතින බැවින්, නාලිකා ශ්‍රේණිගත කිරීමේදී ඉදිරියට පැමිණීම අරමුණු‍ කොට නොගෙනම කටයුතු කළ නොහැකි බවත්, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා කෝපා කමිටුව හමුවේ පෙන්වා දුන්නා.

    මාධ්‍යවේදීන් සඳහා හැඳුනුම්පත් නිකුත් කිරීම පිළිබඳව ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අවධානය යොමු වූ අතර, වඩාත් සක්‍රීයව ප්‍රවෘත්ති ලබාදීමට දායකත්වය ලබා දෙන මාධ්‍යවේදීන් ඇගයී‍මේ ක්‍රමයක් සකස් කිරීම පිළිබඳව ද කමිටුවේදී සාකච්ඡාවට බදුන් වුණා.

    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අරමුණු ලෙස දක්වා තිබූ කාර්යයන් 18 ක වර්තමාන ක්‍රියාකාරීත්වය පිළිබඳව කෝපා කමිටුවේදී සාකච්ඡා කෙරුණා. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා දේශීය තොරතුරු විදේශීය රටවලටත්, විදේශීය තොරතුරු මෙරට ජනතාවටත් ලබාදීම සම්බන්ධයෙන් ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳව දීර්ඝව සාකච්ඡා වී තිබෙනවා.

    එමෙන්ම, ස්වාධීන රූපවාහිනී සේවය සහ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ලාභ ලබ තත්වයට පත් කිරීම සම්බන්ධයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරී සැලැස්ම සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරුණා.  

    Latest News