ඩෙංගු පාලනයට සියලු පියවර කඩිනමින් ගන්න - ජනාධිපති

මැයි 10, 2023

    ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා සියලු පූර්වාරක්ෂක පියවර කඩිනමින් ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

    එම උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් සියලු පළාත් ප්‍රධාන ලේකම්වරුන්ට ඊයේ ඒ බව ලිඛිතව දැනුම් දීමට පියවර ගනු ලැබුවා.

    අවශ්‍යතාව අනුව, ඩෙංගු මර්දන වැඩසටහන සඳහා ප්‍රධාන ලේකම්වරුන්ට උපරිම සහය ලබා දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා ත්‍රිවිධ හමුදාවට සහ පොලීසියට ද උපදෙස් දී තිබෙනවා. ගෙවී ගිය සතිය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 1896 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වූයේ බස්නාහිර පළාතෙන්. ප්‍රතිශතයක් ලෙස එය සියයට 49 ක්. රෝග නිවාරණය වෙනුවෙන් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව සහ ඒ යටතේ ඇති ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ මේ වන විටත් පුළුල් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇති බව පළාත් ප්‍රධාන ලේකම්වරුන් පවසනවා. මදුරුවන් බෝ විය හැකි ස්ථාන පරීක්ෂා කර පිරිසිදු කිරීම සඳහා රාජ්‍ය ආයතන, පාසල් ඇතුළු අනෙකුත් ආයතන ප්‍රධානීන් දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම, ඩෙංගු රෝග වාහක මදුරුවන් විනාශ කිරීම, පරිශ්‍ර පිරිසිදුව පවත්වාගෙන යාමට අපොහොසත් වන්නන්ට නීතිමය ක්‍රියාමාර්ග ගැනීම ආදිය මගින් ඩෙංගු ව්‍යාප්තිය පාලනයට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද පළාත් ප්‍රධාන ලේකම්වරුන් කියා සිටිනවා. සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ, ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කර ගැනීමට සෞඛ්‍ය අංශ මැදිහත්වීමෙන් පමණක් ප්‍රමාණවත් නොවන බවයි. ඒ සඳහා ජනතා සහය උපරිමයෙන් අවශ්‍ය බවත් ඔවුන් අවධාරණය කරනවා.

    Latest News