රාමසාන් දිනය අදයි...

අප්‍රේ 22, 2023

    ලොව පුරා සිටින ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ "ඊද් උල් ෆිත්ර්" නොහොත් රාමසාන් උත්සවය අදයි.

    සාමානාත්මතාව පිළිබඳ හොඳම පණිවුඩය ‍ලොවට පහදා දෙන වැදගත් මූලික වතාවත්වලින් එකක් අවසන් කළ ඔවුන් මෙය උත්කර්ෂයෙන් සමරනු ලබනවා‍. ඉස්ලාම් දහමේ ප්‍රධාන වගකීම්වලින් එකක් වන උපවාස මාසය හෙවත් රාමසාන් මාසය, ඊයේ අවසන් වුණා.

    නව සඳ දැකීමෙන් අනතුරුවයි, ඉස්ලාම් බැතිමතුන් රාමසාන් උත්සවය අද සමරනු ලබන්නේ. පසුගිය මාසය පුරා උපවාසයේ සිටීමෙන් අවිවේකීව නොකඩවා ක්‍රියාත්මක වූ ශරීරයට විවේකයක් ලබා දීමත්, දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිසුන්ගේ කුසගින්න අවබෝධ කර ගැනීමත්, මෙහි ප්‍රධාන අරමුණයි.

    එමෙන්ම, සමානාත්මතාවයත්, සහෝදරත්වයත් ලොව පුරා පතුරුවා, හැරීමද තවත් අරමුණක්. උපවාසය ශරීරයට සම්පූර්ණ සුවයක් බවත්, සනීප කළ නොහැකි විවිධ රෝගවලට ප්‍රතිකාරයක් බවත්, ඉස්ලාම් බැතිමතුන්ගේ විශ්වාසයයි. ශබ්ද නඟා "තක්බීර්" කියා රාමසාන් උත්සවය ආදරයෙන් පිළිගැනීම ඔවුන්ගේ චාරිත්‍රයක්.

    රාමසාන් උත්සවය සඳහා ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලු දෙනා සහභාගීවන අතර, එකිනෙකාට සුබ පැතීම ද මෙහි වැදගත් චාරිත්‍රයක්. තම ඥාති හිතමිත්‍රාදීන්ගේ නිවෙස්වලට ගොස් ආදරය හා සතුට බෙදා ගැනීම ද මෙහිදී සිදු කෙරෙනවා.

    ඉස්ලාම් බැතිමතුන් මාසයක් පුරා පැවැත්වූ උපවාස සමය නිමා කර, මෙවර රාමසාන් උත්සවය සමරන්නේ, රට තුළ ගොඩනැගී ඇති කිසියම් සහනදායි පරිසරයක් තුළ බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය රාමසාන් දින පණිවුඩය තුළින් ‍පෙන්වා දෙනවා. එබැවින් එය සැමගේ සතුටට සහ සැනසුමට හේතුවක් වනු ඇති බවයි, එම පණිවුඩයෙන් සඳහන් වන්නේ.

    විවිධ වූ අර්බුදයන්ට ලෝකය මුහුණ දී සිටින වකවානුවක, පීඩා විදින ජනතාව තුළ මානුෂීයත්වය වර්ධනය කර, සහනශීලි වටපිටාවක් නිර්මාණය කරනු වස් රාමසාන් උත්සවය මනාපිටිවහළක් සපයන බව, ආග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා නිකුත් කළ රාමසාන් දින පණිවුඩයේ සඳහන්. මෙරට ඉස්ලාමීය ජන සමාජය මතුවටත් ආරක්ෂාද කර ගැනීමට අවිශ්වාසය හා සැකය දුරු වූ යහපත් ජන සමාජයක් සඳහා වූ ඉගැන්වීම් දැඩිව අවධාරණය කර ගත යුතු බවයි, අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනයේ දැක්වෙන්නේ.

    Last modified on සෙනසුරාදා, 22 අප්‍රේල් 2023 11:27

    Latest News