ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මා‍සයේදී සකස් කර අවසන් කරන බව, ජනපති කියයි.

අප්‍රේ 21, 2023

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වන ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය ඉදිරි මාසය තුළ සකස් කර අවසන් කරන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.

    එම ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අපේක්ෂිතයි. ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවති “බිස්නස් ටුඩේ” සම්මාන උළෙල අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. විවෘත වන ශ්‍රී ලංකා ආර්ථිකය වර්ධනය කිරීමේ වගකීම පෞද්ගලික අංශය විසින් බාරගත යුතු බව ද ජනාධිපතිවරයා ‍එහිදී සඳහන් කළා.

    මෙරට ව්‍යාපාරික ක්‍ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධනයක් දක්වන සමාගම් ඇගයීමට ලක් කෙරෙන මෙම සම්මාන උළෙල වාර්ෂිකව සංවිධාන කරනු ලබන්නේ, “බිස්නස් ටුඩේ” සඟරාව විසින්. මෙවර විශිෂ්ටතම ව්‍යාපාරිකයින් 40 දෙනෙකු ඇගයීමට ලක් කෙරුණා. සම්මාන උළෙලේදී අදහස් දක්වමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, මේ මාසය තුළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන සඳහා පාර්ලිමේන්තුවේ සහය ලබාගැනීමට අපේක්ෂා කරන බවයි.

    ලබන මැයි මාසය අවසන් වන විට ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තිය සකස් කර අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, ආර්ථික ස්ථායීකරණ කමිටු වාර්තාව දැනටමත් සකස් කර අවසන් බව ද ජනාධිපතිවරයා සඳහන් කළා. ස්ථාවර සහ වේගයෙන් වර්ධනය වන ආර්ථිකයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාවට තවත් බොහෝ දුර යායුතුව තිබෙන බව ද වික්රරමසිංහ මහතා කියා සිටියා.

    Latest News