මානව හිමිකම් කාර්යාලයක් පිහිටුවීමට, අවශ්‍යතාවක් හා නීතිමය ප්‍රතිපාදන නැහැ... විදේශ ඇමති

මාර් 20, 2019

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට, අවශ්‍යතාවක් හා නීතිමය ප්‍රතිපාදන නැතැයි, විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා පෙන්වා දෙයි.

    ජිනීවා නුවර මානව හිමිකම් සැසිවාරය අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක හමුදා සහ පොලිස් නිලධාරීන් කිසිවෙකුට එරෙහිව, යුද අපරාධ චෝදනා සනාථ වී නොමැති බැවින්, ඔවුන්ගේ නිසි අයිතීන් උල්ලංඝනය වන පරිදි ක්‍රියාකිරීම බලවත් අසාධාරණයක් බව ද විදේශ ඇමතිවරයා මානව හිමිකම් කවුන්සිලයට පෙන්වා දුන්නේය.

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ, ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව අද මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කළාය. යුද සමයෙන් පසු, සංක්‍රාන්තික යුක්තිය ඉටුකිරීම සඳහා කාල රාමුවක් සහිත ක්‍රමවේදයක් හඳුන්වා දෙන ලෙස, ඇය ශ්‍රී ලංකාවෙන් ඉල්ලීමක් කළාය. අතුරුදන්වූවන් සහ හානිපූරණය පිළිබඳ කාර්යාල පිහිටුවීම ඇතුළුව, රජය ගත් සාධනීය ක්‍රියාමාර්ග, මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ පැසසුමට ලක්වූවාය.

    එහිදී අදහස් දැක්වූ මිෂෙල් බැචලේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්...

    “මගේ කාර්යාලය ශ්‍රී ලංකා රජය දිරිමත් කරනවා. මෙම ආයතන දෙක කාර්යක්‍ෂමව හා ස්වාධීනව පවත්වා ගනිමින්, ඒවා යුක්තිය, සැබෑ වගවීම හා සත්‍ය සෙවීමේ කාර්ය භාරය සඳහා පුළුල් මට්ටමින් සම්බන්ධ කරවීමට. හමුදාව බාරයේ පැවති ඉඩම්, යළි පවරාදීම සම්බන්ධයෙන් ප්‍රගතියක් වාර්තා කර තිබෙනවා“

    පිළිතුරු කතාව කළ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා, මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැක්වූ යෝජනාවන්ට අනුකූල පරිදි, රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැහැදිළි කළේය. එමෙන්ම, දශක ගණනාවක් පුරා පවතින සංවේදී හා සංකීර්ණ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා කාල රාමු ප්‍රකාශයට පත්කිරීම අසාර්ථක ක්‍රියාවලියක් බව, විදේශ ඇමතිවරයා සඳහන් කළේය. ඉඩම් පවරාදීම සම්බන්ධයෙන්, මානව හිමිකම් මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ සංඛ්‍යා ලේඛනවල අඩු-පාඩු පවතින බව ද තිලක් මාරපන මහතා පැවසීය.

    මන්නාරම සමූහ මිනීවළේ කාල රාමුව, යුරෝපා යටත් විජිත යුගය දක්වා විහිදෙන බව, අමෙරිකානු වාර්තා මගින් සනාථ වී ඇතැයි කී අමාත්‍ය මාරපන මහතා, ශ්‍රී ලංකාවේ තවත් සමූහ මිනී වළවල් හමුවනු ඇතැයි යනුවෙන් මහකොමසාරිස්වරියගේ වාර්තාවේ සඳහන් කර ඇති උපකල්පනය, එම වාර්තාවේ වලංගු භාවයට ප්‍රශ්නයක් බව ද කියා සිටියේය. විදේශ අමාත්‍යවරයා මූලික වශයෙන් පෙන්වා දුන්නේ, දෙමුහුම් අධිකරණ යෝජනාවේ ගැටලු සහගත තත්වය පිළිබඳවයි.

    එහිදී අදහද් දැක්වූ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා...
    “ශ්‍රී ලාංකික නොවන විනිසුරුවන්, මෙරට අධිකරණ පද්ධතියට ඇතුළත් කරන්න බැහැ. එහෙම කරනව නම්, ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය හා ජනමත විචාරණයක් අවශ්‍ය වෙනවා. ගැටුම් පැවති සමය තුළ අපේ ආරක්‍ෂක අංශ ක්‍රියා කළේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී බවට හඳුනාගත් සංවිධානයකට එරෙහිව පමණයි. කිසිම ජන වර්ගයකට එරෙහිව නොවෙයි. මෙරට කිසිම හමුදා සාමාජිකයෙකු, යුද අපරාධ සිදු කළ බවට කිසිදු නිල ලියවිල්ලක සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා හමුදාවේ සිටින හෝ විශ්‍රාමික හෝ සාමාජිකයෙකුට එරෙහිව එවැනි චෝදනා නැගීම, ඔහුගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක්. එබැවින්, අප අපේක්‍ෂා කරන්නේ අන්තර් ජාතික සහය සහිත නිවැරදි දේශීය යාන්ත්‍රණයක් සඳහා අන්තර් ජාතික සහය ලබාගැනීමටයි.“

    අනතුරුව, සාමාජික රටවල් රැසක් මහ කොමසාරිස්වරියගේ වාර්තාව සහ ශ්‍රී ලංකාවේ කාර්ය භාරය ගැන අදහස් පළ කළේය.

    අදහස් දැක්වූ යුරෝපා සංගමය.....
    “මුලික මිනිස් අයිතිවාසිකම් මානව හිමිකම් වැනි ක්‍ෂේත්‍ර ඔස්සේ, ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය යුරෝපා සංගමය හැටියට අපි අගය කරනවා. අපි ඉල්ලා සිටින්නේ, කල් පවතින සංහිඳියාවක් සඳහා වන වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන්න කියලයි.

    පාකිස්තානය.....
    “හඳුනාගත් ත්‍රස්තවාදී සංවිධානවලට එරෙහිව ශ්‍රී ලංකාව ගත් පියවර අපි අගය කරනවා. අන්තර් ජාතික ත්‍රස්තවාදය පිටුදැකීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ එඩිතර ක්‍රියාදාමයට මේ සභාවේ ප්‍රශංසාව හිමිවිය යුතුයි“

    ඉන්දියාව.....
    “පුනරුත්ථාපනය, නැවත පදිංචි කිරීම වැනි වැඩසටහන් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාවට ඉන්දියාවේ උපරිම සහය හිමිවනවා. ඒ සඳහා සියලු පාර්ශව සමඟ එක්ව ක්‍රියා කරන්නටත් අපි සූදානම්“

    Last modified on බදාදා, 20 මාර්තු 2019 19:37

    Latest News