චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනමින් අරඹන බව ජනපති පවසයි

නොවැ 05, 2022

    චීන - ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. 

    ද්වීපාර්ශ්වික වෙළෙදාම නැංවීමට පුළුල් ඉඩප්‍රස්තා තිබෙන බවයි ජනාධපතිවරයා ප්‍රකාශ කරන්නේ.  5 වැනි චීන අන්තර්ජාතික ආනයන ප්‍රදර්ශනය හෙවත්,  සී. අයි අයි ඊ එක්ස්පෝහි සමාරම්භක උළෙල අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියා. 

    චීන අන්තර්ජාතික ආනයන වෙළෙඳ දැක්ම ආරම්භ කෙරුණේ, 2017 වසරේදී.  "එක තීරයක්, එක මාවතක්" චීන සංවර්ධන වැඩසටහනට සම්බන්ධ රටවල් අතර, වෙළෙඳ සබඳතා නැංවීම එහි අරමුණයි.  මේ වන විට එම වෙළෙඳ දැක්ම බාහිර ලෝකයටද විවෘත කොට තිබෙනවා.  රටවල් 145 ක වෙළෙඳ ආයතන 500 කට අධික සංඛ්‍යාවක් මෙවර එක්ස්පෝ වැඩසටහනට එක්ව සිටිනවා. 

    එය පැවැත්වෙන්නේ, චීනයේ වෙළෙඳ කේන්ද්‍රය වන ෂැංහයි නගරයේදී.  සමාරම්භක උත්සවය ඊයේ (04) පැවැත්වුණේ, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ප්‍රධානත්වයෙන්.  එහිදී ඔහු කියා සිටියේ, සියලු රටවල් හා පාර්ශ්ව සමග චීනයේ අතිවිශාල වෙළෙඳපොළ ප්‍රවනතා බෙදාහදා ගැනීම තම අපේක්ෂාව බවයි.  මේ තුළින් චීන දේශීය වෙළෙදපොළ සඳහා ඉහළ ගුණාත්මක භාණ්ඩ ලැබෙන බවද ෂී ජින්පිං මහතා පෙන්වා දුන්නා. 

    චීන නායකයාගෙන් පසු සමුළුව ඇමතීම සඳහා ඇරයුම් ලැබුනේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාටයි.  මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ, අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ, චීන අභ්‍යන්තර වෙළෙඳපොළේ වාසිදායක තත්වයන් ග්‍රහණය කර ගැනීමට මෙය ශ්‍රී ලංකා වෙළෙඳ ආයතනවලට ලැබෙන අනගි අවස්ථාවක් බවයි. මෙම අන්තර්ජාතික ආනයන ප්‍රදර්ශනය සංවර්ධනය වෙමින් පවතින රටවලට චීන වෙළෙඳපොළට අවතීරණ වීම සඳහා ලබාදුන් නව්‍ය අවස්ථාවක්. 

    එය බොහෝ රටවල් මෙන්ම ව්‍යාපාරවලටත් ශීඝ්‍රයෙන් වර්ධනය වන, චීන ජනතාවගේ පාරිභෝගික අභිලාෂයන්හි ප්‍රතිලාභ අත්කර දීමේ අවස්ථාවක්ද වනවා.  ජනාධිපතිතුමනි මම ඔබට සහ චීන රජයට මේ සම්බන්ධයෙන් ස්තුතිවන්ත වනවා.  ශ්‍රී ලංකාව සී අයි අයි ඊ වැඩසටහනේ මුල් අදියරේදීම ඊට සම්බන්ධ වූ රටක්.  මේ ප්‍රදර්ශනයට එක්වීම තුළින් අපේ ව්‍යාපාර ඉහළ ප්‍රතිලාභ අත් කර ගත්තා.  මෙය අපේ කර්මාන්තවලට චීන වෙළෙඳපොළ තුළ ස්ථානගත වීමට අවස්ථාවක් හිමි කර දුන්නා. 

    චීනය සහ ශ්‍රී ලංකාව අතර වර්තමාන සබඳතා ආරම්භ වූයේ රබර් - සහල් ගිවිසුම්ත් සමගයි.  එය එම වකවානුවේ සුවිශේෂී සම්මුතියක් වුණා.  එම ගිවිසුම අත්සන් තැබීමේ 70 වැනි සමරුව මේ වසරේදී පවත්වනු ලැබුවා.  අප දෙරට අතර සබඳතා ඉන් පසුව විවිධ ක්ෂේත්‍ර වෙත යොමු වුණා.  වෙළෙඳාම, ආයෝජනය, සංචාරක, අධ්‍යාපනය, ආරක්ෂක හා සෞඛ්‍ය යන ‍ක්ෂේත්‍ර ඒ අතර වනවා.   

    පසුගිය වසර තුළ අප දෙරට වෙළෙදාමේ වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 4.3 ක්.  චීනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආනයන මූලාශ්‍රයයි.  ද්විපාර්ශ්වික වෙළෙඳාම නැංවීමට තවදුරටත් ඉඩප්‍රස්තා තිබෙනවා.  අපි බලාපොරොත්තු වනවා චීන ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ සාකච්ඡා නුදුරු අනාගතයේම ආරම්භ කිරීමට එකඟ වනු ඇතැයි කියා.  තවත් රාජ්‍ය නායකයන් හා ව්‍යාපාරික ප්‍රධානීන් රැසක් සමාරම්භක උළෙල ඇමතුවා.

    Latest News