මහ කන්නයේ අස්වනු නෙළීමට ගොවීන්ට ඉන්ධන සහන

නොවැ 05, 2022

    මෙවර මහ කන්නයේ සඳහා අවශ්‍ය යූරියා පොහොර බෙදා හැරීම, මේ වන විට ආරම්භ කර තිබෙනවා.

    2022, 2023 මහ කන්නය අවසානයේ අස්වනු නෙළීම සඳහා ගොවීන්ට අවශ්‍ය ඉන්ධන නොමිලයේ ලබා දෙන බවද, අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.  ලෝක බැංකුව ලබා දුන් ඩොලර් මිලියන 105 ක ආධාර මගින් පොහොර ඇනවුම් කර තිබෙනවා. එය අදියර කිහිපයකින් මෙරටට ගෙන්වීමට නියමිතයි.

    මෙවර මහ  කන්නයේ පළමු මුරය සඳහා අවශ්‍ය පො‍හොර  ප්‍රමාණයටත් වඩා  පවතින බවයි, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. මහ කන්නයේ වී වගාව සඳහා අම්පාර, මඩකලපුව හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට අවශ්‍ය යූරියා පොහොර සම්පූර්ණ ප්‍රමාණයම එකවර සැපයීමටයි, කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ.  නැගෙනහිර පළාත හැර අනෙකුත් සෙසු ප්‍රදේශ සඳහා අවශ්‍ය යූරියා පළමු මුරයට අවශ්‍ය ප්‍රමාණ මේ වන විටත් ගොවිජනසේවා මධ්‍යස්ථාන 566 ක් වෙත යොමු කර තිබෙනවා.  

    සෙසු දිස්ත්‍රික්ක සියල්ලටම දෙවන හා තුන්වන පොහොර මුර සඳහා අවශ්‍ය යූරියා පොහොර සමග "එම් ඕ පී" හෙවත් මඩ පො‍හොර ද එකවර ලබා දීමට නියමිතයි. කාබනික පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාරයකට රුපියල් 20,000 ක ආධාරයක් ද රජය මගින් ගොවි ජනතාවට ලබා දීමට නියමිතයි. එම කටයුත්ත දිසාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් සිදු කිරීමට නියමිතයි.

    2022,2023 මහ කන්නය සඳහා පොලොන්නරුව දිස්ත්‍රික්කයට අවශ්‍ය රසායනික ‍පොහොර දිස්ත්‍රික් ලේකම්වරයා වෙත බාර දීම ඊයේ සිදු කෙරුණා. ඒ, අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊ‍ට පොහොර මෙට්‍රික් ටොන් 280 ක් ඇතුළත්. පොහොර තොගය බාර දීම ගල්ලෑල්ල "ලක් පො‍හොර සමාගම් භූමියේ දී සිදු කෙරුණා. එම පොහොර  ඒ අවස්ථාවේදීම අරණගංවිල, වැලිකන්ද, නව නගරය  හා පුලස්තිගම යන ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත පිටත් කරනු ලැබුවා.‍

    මෙවර මහ කන්නය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්යේ  ගොවීන්ට අවශ්‍ය යූරියා පො‍හොර දිස්ත්‍රික් ගොවිජන සේවා මධ්‍යස්ථානය වෙත ලබා දී තිබෙනවා. කාබනික පොහොර සහ යූරියා පොහොර යන දෙවර්ගයම ගොවීන්ට බෙදා දීම ආරම්භ කර ඇති බව, ගොවි ජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්, දූෂානි එම්. වීරවංශ මහත්මිය පවසනවා.    කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ හෙක්ටයාර 28,778 ක වී වගා කිරීම මේ වන විට  ආරම්භ කර තිබෙනවා. පොහොර ලබා දීම ද, නිසි පරිදි සිදු කරන බවයි, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 05 නොවැම්බර් 2022 13:03

    Latest News