නීති විරෝධී ධීවර කටයුතු මඩින්න; වැටලීම් ඒකකයක්

මාර් 19, 2019

    මිරිදිය ධිවර කටයුතු වලදී සිදුවන නීති විරෝධී ක්‍රියා පාලනය සදහා විශේෂ වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීමට ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා තීරණය කර තිබේ.


    ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස රාජ්‍ය අමාත්‍යතුමා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති හා අධ්‍යක්‍ෂ ජෙනරාල් වෙත උපදෙස් දෙන ලදී.

    මිරිදිය ධිවර කර්මාන්තයේ සිදුවන එවැනි නීති විරෝධී කටයුතු පාලනය සදහා ප්‍රාදේශීය ධිවර පරීක්ෂකවරුන් ක්‍රියාත්මක වීමේදී ඔවුන්ට එල්ලවන තර්ජන , බලපෑම් සහ පහරදීම් රැසක් වාර්තා වී ඇති බවත් ඒ පිළිබද අවධානය යොමු කර මෙවැනි වැටලීම් ඒකකයක් ස්ථාපිත කිරීම වඩාත් ප්‍රයෝගික බවට ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගෙන අදාළ තීරණය ගත් බව ධිවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසිය.

    ප්‍රාදේශීය මට්ටමින් නිතිය ක්‍රියාත්මක නොවන බවට ලැබෙන මහජන පැමිණිලි අනුව නීති විරෝධී මිරිදිය ධිවර කටයුතු පාලනය සදහා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ මෙම විශේෂ වැටලීම් ඒකකය ස්ථාපිත කරණ ලෙස ද රාජ්‍ය අමාත්‍යතුමා උපදෙස් දෙන ලදී .

    මෙම කටයුතු වඩාත් නිත්‍යානුකුලව සිදු කිරීම සදහා අදාළ වැටලීම් කිරීමේදී ඒ සදහා එම ප්‍රදේශයේ පොලිසියේ හෝ පොලිස් විශේෂ කාර්ය බලකායේ සහය ලබාගැනීමට මෙන්ම නීති විරෝධී ධිවර කටයුතු වල නිරතව සිටියදී අත්අඩංගුවට ගන්නා සියළු දෙනා නිතිය හමුවට පමුණුවා නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කර ධීවරයා මෙන්ම ධිවර කර්මාන්තය රැකගැනීමට කටයුතු කරන ලෙසත් මෙහිදී ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරියට රාජ්‍ය අමාත්‍යතුමා උපදෙස් දුන්නේය .

    රට අභ්‍යන්තරයේ විශාල ජලාශ, කාලීන ජලාශ සහ මධ්‍යකාලින ජලාශ 12.000 ක පමණ මිරිදිය ධිවර කර්මාන්තය ක්‍රියාත්මක වේ. ඒ ආශ්‍රිතව 40.000 ක් පමණ සංඛ්‍යාවක් මිරිදිය ධිවර කර්මාන්තයේ නිරතව සිටි .

    ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය ගහනය පවත්වාගැනීම සදහා ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය විසින් සෑම වසරකම මත්ස්‍ය පැටවුන් ලක්‍ෂ ගණනක් එම ජලාශවල තැන්පත් කරයි . පසුගිය 2018 වසරේ පමණක් මත්ස්‍ය පැටවුන් ලක්‍ෂ 1100 ක් එම ජලාශවල තැන්පත් කර ඇත. 2018 වසරේ සංඛ්‍යා ලේඛන අනුව මිරිදිය මත්ස්‍ය අස්වැන්න මෙට්‍රික් ටොන් 86.000 කි.

    නමුත් නීති විරෝධී පන්න භාවිතය හේතුවෙන් මෙම මත්ස්‍ය අස්වැන්න විශාල ලෙස පහත වැටි තිබේ . කිලෝ එකක් එකහමාරක් පමණ වැඩෙන මත්ස්‍යයෙක් මෙම නීති විරෝධී පන්න භාවිත කරන සහ ධිවරයින් නොවන පුදගලයින් ග්‍රෑම් 200 තරම් කුඩා මත්ස්‍යයින් පවා නෙලාගන්නා බව ජාතික ජලජිවි වගා සංවර්ධන අධිකාරිය පෙන්වා දේ . එම අධිකාරිය සදහන් කලේ දිනකට මිරිදිය ධිවර කාර්මිකයෙකු නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්නට වඩා විශාල මත්ස්‍ය අස්වැන්නක් මෙම පුද්ගලයින් එකවර නෙලාගැනීම හේතුවෙන් කර්මාන්තයට විශාල තර්ජනයක් එල්ල වී ඇති බවය.

    Last modified on අඟහරුවාදා, 19 මාර්තු 2019 07:34

    Latest News