"චුන්නාකම් විදුලිය ජාතික පද්ධතියට එක් කිරීම කඩනම් කරන්න" - ඇමති රවී

මාර් 18, 2019

    චුන්නාකම් බලාගාරයෙන් උත්පාදනය කළ හැකි විදුලි හැකි ඉක්මණින් ජාතික පද්ධතියට එක් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විෂයබාර අමාත්‍යත්‍ය රවී කරුණානායක මහතා විසින් ලං.වි.ම. සභාපති ඇතුළු අදාළ අංශවලට උපදෙස් දෙයි.

    වව්නියා සහ යාපනය ප්‍රදේශයන්ගේ පැවති නිල සංචාරකදී චුන්නාකම් විදුලි බලාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අමාත්‍යවරයා විසින් මෙසේ උපදෙස් දී ඇත. අදාළ ප්‍රදේශයන්හි විදුලිබල අවශ්‍යතා, එම ප්‍රදේශවල ජනතාවගේ විදුලිය ලබාගැනිම, පරිභෝජනයේදී මුහුණපාන ගැටළු සහ දුෂ්කරතා හඳුනා ගනිමින් ඒවාට පිළියම් යෙදීමත්, එම ප්‍රදේශයන්හි නව පුනර්ජනනීය විදුලි උත්පාදන අවස්ථා ඇති කිරීමේ හැකියාවන් පිළිබද සොයා බැලීමත් මෙම සංචාරයේ මූලික අරමුණු වී ඇත.

    මෙම සංචාරයේදී අමාත්‍යවරයා විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් යාපනය ප්‍රදේශයේ ප්‍රධාන ඉංජිනේරු කාර්යාලය, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි කාර්යාලය මෙන්ම නොදර්න් පවර් කාර්යාලයේද නිරීක්ෂණයකට එක්වූ අතර එහිදී සේවක පිරිස් සමග අදහස් හුවමාරු කරගත් අතර අදාළ කාර්යාලයන්හි සිදුවිය යුතු අළුත්වැඩියා කටයුතු මෙන්ම සංවර්ධන කටයුතු පිළිබදවද අදාළ අංශ වෙත උපදෙස් ලබා දී ඇත.

    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා......

    "පරිසර අමාත්‍යාංශයේ නිර්දේශයන්ට අනුව මෙම බලාගාරය මගින් පරිසරයට කිසිදු හානියක් සිදුවෙන්නේ නැති බව පැහැදිළියි. ඒඅනුව උසාවියට ඉල්ලීමක් ඉදිරිපත් කරලා, උසාවියේ නියෝගයක් මත නීතියේ අවසර ඇතිව, චුන්නාකම් බලාගාරය ක්‍රියාත්මක කර, මෙම බලාගාරයෙන් උත්පාදනය කළ හැකි ධාරිතාවය ජාතික විදුලිබල පද්ධතියට හැකි ඉක්මණින් එක් කිරීමට අවශ්‍ය පියවර ගන්න.
    වියලි කාලගුණික තත්ත්වය මත මේ වනවිට විදුලිබල ක්ෂේත්‍රය මුහුණපා ඇති දුෂ්කරතාවන් මගහරවා ගැනිමට මෙම බලාගාරය ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත් වනවා. ඒ තුළින් අපි මේ වනවිට අත්හිටුවා ඇති හදිසි විදුලිය මිලදී ගැනීම්වලින් තවදුරටත් වැලකී සිටීමට හැකියාවක් ලැබෙනවා" යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අදහස් දක්වා ඇත.

    Latest News