ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම, එය විනාශ කිරීමක් නොවේ - ඇමති සජිත් (වීඩියෝ)

මාර් 18, 2019

    "ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම" ත්‍රිපිටකය විනාශ කිරීමක් ලෙස හැඳින්වීම විහිළුවක් බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

    ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීම ත්‍රිපිටකය විනාශ කිරීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දිනක ප්‍රකාශ කර ඇති බවත්, එය මහ විහිළුසහගත ප්‍රකාශයක් බවත් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
    ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්වන විට එයට ජාත්‍යන්තර නීතිවල රැකවරණයත්, ආරක්ෂාවත් ලැබෙන බවත්, ජාත්‍යන්තරයේ පිළිගැනීමට මෙන්ම ගෞරවයටද පාත්‍රවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

    ඌව වෙල්ලස්ස කැරැල්ල මෙහෙයවූ වීරවරුන් දේශද්‍රෝහීන් ලෙස නම්කර තිබියදී, ඔවුන් දේශප්‍රේමීන් බවට පත් කිරීමට කටයුතු කළේ වත්මන් ජනාධිපතිතුමා බවත්, තහනමට ලක්ව තිබූ අංගම්පොර සටන් කලාව අප අමාත්‍යංශයේ යෝජනාවක් මත කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව නීත්‍යානුකූල සටන් කලාවක් බවට පත් කළ බවත් කී අමාත්‍යවරයා, ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන්නට හිටපු ජනාධිපතිතුමන්ට අමතක වූයේ මන්ද කියා තමන් ප්‍රශ්න කරන බවද අමාත්‍යවරයා පැවසීය.
    කවුරුන් කුමන බාධා එල්ල කළත් අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් අප අනිවාර්යයෙන්ම ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

    සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේහම්බන්තොට දිස්ත්‍රික්කයේ, ලුණුගම්වෙහෙර, සද්ධාතිස්සපුරනව නගරයේ ඉදිකළ“සිරිකළණගම” උදා ගම්මානය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට අද (18) දින සහභාගී වෙමිණි. “සැමට සෙවණ” යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේජනතා අයිතියට පැවරුණු 181 වන ආදර්ශ ගම්මානය මෙය වේ.

    “සිරිකළණගම” උදා ගම්මානය නිවාස 19කින් සමන්විත වන අතරඑය අංගසම්පූර්ණව ඉදිකිරීම සඳහා වැයකළ මුදල රුපියල් ලක්ෂ169කි. මෙම උදා ගම්මානය පිරිසිදු පානීය ජලය, විදුලිය, ප්‍රවේශ මාර්ග හා විධිමත් අභ්‍යන්තර මාර්ග ඇතුළු සියලු යටිතල පහසුකම් වලින් සමන්විත වේ.
    ගම්මානය ජනතා අයිතියට පත්කිරීමට සමගාමීව නිවාසලාභීන් 19 දෙනාට නිවාස හිමිකම් පත්‍ර ප්‍රදානය හා නිවාසලාභීන් සඳහා රුපියල් ලක්ෂ114ක් වටිනා සංවර්ධිත බිම් කොටස් 19 ක හිමිකම නොමිලේ ලබාදීම, ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් 350 කට රුපියල් ලක්ෂ 700 ක් වටිනා ‘විසිරි නිවාස ණය’ ප්‍රදානය, අභ්‍යාසලාභීන් 65 කට රුපියල් ලක්ෂ 32 ක් වටිනා ‘ශිල්ප සවිය’ ප්‍රතිලාභ ප්‍රදානය, දෘෂ්‍යාබාධ සහිත පුද්ගලයින් 100 දෙනෙකුට නොමිලේ ඇස් කණ්නාඩිප්‍රදානය, ස්වයං රැකියා ණය, මහන මැෂින් ප්‍රදානය සහ ගම්මානයේ නිවාස සමිතියට පුටු ප්‍රදානය කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු කෙරුණි. මෙහිදී වකුගඩු රෝගී සායනයක් සහ දේශීය වෛද්‍ය සායනක්ද පැවැත්විණි.

    මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලනඥයින් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක්සහභාගී වී වූහ.

    Last modified on සදුදා, 18 මාර්තු 2019 20:21

    Latest News