මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් නව යෝජනාව ගැන ඡන්ද විමසීම අද

ඔක් 06, 2022

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව, පිළිබඳව ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතයි.

    ජිනීවා නුවර සිටින විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ඊයේ මාධ්‍ය හමුවකට සහභාගීවෙමින් කියා සිටියේ, බලවත් රටවල් රැසක් එක්ව මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් මානව හිමිකම් ආයුධයක් ලෙස යොදා ගෙන, ශ්‍රී ලංකාව පාලනය කිරීමට උත්සහ කරන බවයි.

    මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරය හමුවේශ්‍රී ලංකාව වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අද පස්වරුවේ කරුණු දැක්වීමට නියමිතයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අද ඉදිරිපත් කෙරෙනවා. අමෙරිකාව, එංගලන්තය,කැනඩාව,උතුරුඅයර්ලන්තය, උතුරුමැඩයාව, ජර්මනිය, මලාවි සහ ලක්සන්බර්ග් යන රටවල්වලින් සමන්විත මධ්‍යගත කණ්ඩායම මේ යෝජනාවේ කෙටුම්පත ඊයේ දින ප්‍රසිද්ධ කර තිබුණා. එහි කරුණු 19 ක් ඇතුළත්.                                        

    ඉන් මුල් කරුණු දෙකෙන්ම, මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර අගය කර තිබෙනවා. යෝජනාවේ ඇතුළත් කරුණු 19 න් 9 ක්ම වෙන් කර ඇත්තේ, ආර්ථික අර්බුදය හා මෑත කාලීනව සිදු වූ බව කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ල පළ කිරීම සඳහායි.

    ආහාර සුරක්ෂිතතාවයේ බිඳ වැටීම බරපතල ඉන්ධන හිඟය අත්‍යවශ්‍ය ඖෂධ හිඟය සහ පවුල් ඒකකවල අදායම් අඩුවීම වැනි කරුණු කෙරෙහි අදාළ යොජනාවලින් දැඩි අවදානය යොමු කර තිබෙනවා.

    එහි සඳහන් වන්නේ, ආර්ථික අවපාතය හේතුවෙන් මානව අයිතිවාසිකම්වලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. සාමකාමී විරෝධතාවලට එල්ල වූ බාධා, ඊට සහභාගී වූවන් අත්අඩංගුවට ගැනීම මෙන්ම, ආණ්ඩුවට සහය දක්වන්නන්ට එරෙහිව උද්ගත වූ ප්‍රචණ්ඩකාරී සිදු වීම්, මරණ, තුවාලවීම් හා දේපළ විනාශ වීම පිළිබඳව ද මේ යෝජනාවේ අවධානය යොමුව තිබෙනවා.

    මානව හිමිකම් කවුන්සිලයට මධ්‍යගත කණ්ඩායම යෝජනා කරන්නේ, වත්මන් ආර්ථික අර්බුදය වහා විමර්ශනය කර ඊට වගකිව යුතු වත්මන් හා හිටපු රාජ්‍ය නිලධාරීන් පිළිබඳව අවශ්‍ය ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණ පවත්වා නිසි ක්‍රියාමාර්ග ගත යුතු බවයි.

    මෙවර සැසිවාරයට මහ කොමසාරිස්වරිය ඉදිරිපත් කළ වාර්තාවෙන් අවධාරණය කර තිබුණේ, ශ්‍රී ලංකාවේ ආර්ථික අපාරාධ පිළිබඳ දැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවයි.

    ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන යෝජනාවේ ඡන්ද විමසීම අද පස්වරුවේ පැවැත්වෙන අතර, පසුගිය වර මෙරටට පක්ෂව ඡන්ද 11 ක් ලැබුණ ද මෙවර එය 7 ක් දක්වා අඩු විය හැකි බවත්, එම නිසා තවදුරටත් ප්‍රමාද නොවී මානව හිමිකම් සුරක්ෂිත කිරීම පිළිබඳව ක්‍රියාවෙන් පෙන්වා දිය යුතුව ඇති බවත්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියා.  

    Latest News