ජගත් මානව හිමිකම් සැසිය අද ඇරඹේ

පෙබ 24, 2020

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල, 43 වැනි සැසිවාරය අද ආරම්භ වෙයි. ශ්‍රී ලංකාවේ සංහිඳියාව,වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම පිළිබඳ 2019 මාර්තු 40/1 දරණ යෝජනාව සම්බන්ධයෙන් සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකා රජයේ තීරණය එම කවුන්සිලය වෙත දැනුම් දී තිබේ.

    ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේ දී අද ආරම්භ වන සැසිවාරය ලබන මාර්තු 20 වැනිදා දක්වා පැවැත්වෙයි. සැසිවාරයේ සමාරම්භය පැවැත්වෙන්නේ, එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමිසාරිස්, මිචෙල් බැචලට් යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන්. ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව, එහිදී සාකච්ජාවට ලක්වන්නේ ලබන 27 වැනිදා. අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා ලබන මාර්තු 26 වැනිදා මානව හිමිකම් කවුන්සිල සැසිවාරය ඇමතීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව සාකච්ජාවට ලක් කිරීමට දිනකට පෙරයි. ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයට සහභාගී වීමට ගොස් සිටින, විදේශ සබඳතා අමාත්‍යාංශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා, මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි තානාපති එලිසබෙත් ටිචිෆිස්ල්බර්ග් මහත්මිය හමුවී තිබේ.

    එහිදී ඔහු 2015 ඔක්තෝබර් මස 30/1 දරණ හා 2017 මාර්තු 34/1 දරණ පූර්ව යෝජනා සම්මුති ඇතුළත්ව ශ්‍රී ලංකාවේ සංහිඳියාව වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය පිළිබඳ 2019 මාර්තු 40/1 දරණ යෝජනාව පිළිබඳ සිය සම අනුග්‍රාහකත්වය ඉල්ලා අස්කර ගැනීමේ ශ්‍රී ලංකා රජයේ තීරණය දැනුම් දෙයි. ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය අනුමත කර ඇති බව ද පෙන්වා දුන් විදේශ ලේකම් රවිනාථ අරියසිංහ මහතා පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකා රජයේ තීරණය විධිමත්ව අමාත්‍ය දිනේෂ ගුණවර්ධන මහතා කවුන්සිලයට දැනුම් දීමට නියමිත බවයි. ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය පිළිබඳව තමන් දැනුවත් කිරීමට පියවර ගැනීම සම්බන්ධයෙන්, මානව හිමිකම් කවුන්සිල සභාපතිවරයා එහිදී ප්‍රසාදය පළ කර තිබේ.

    Last modified on සදුදා, 24 පෙබරවාරි 2020 09:12

    Latest News