මහ බැංකුවේ නිත්‍ය තැන්පතු හා ණය පහසුකම් අනුපාතිකය ගැන දැනුම්දීමක්

ඔක් 06, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙළින් සියයට 14.50 සහ සියයට 15.50 ලෙස දැනට පවතින මට්ටම පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා. එම තීරණයට එළඹ ඇත්තේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ඊයේ පැවති රැස්වීමකදී.

    මෙම තීරණයට එළඹීමේදී මුදල් මණ්ඩලය විසින් පසුගිය මුදල් ප්‍රතිපත්ති විවරණයට සාපේක්ෂව ආර්ථික ක්‍රියාකාරකම්වල අපේක්ෂිත ප්‍රමාණයට වඩා විශාල සංකෝචනයක් සහ අපේක්ෂිත ප්‍රමාණයට වඩා වේගවත් මිල පීඩනය ලිහිල් වීම් පෙන්නුම් කරනු ලබන නවතම දත්ත පදනම් කර ගත් පුරෝකථන සලකා බලා තිබෙනවා.

    දැනටමත් ක්‍රියාත්මක වන දැඩි මූල්‍ය සහ රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති මෙන්ම, අත්‍යවශ්‍ය නොවන ආනයන වියදම් සීමා‍ කිරීමේ ක්‍රියාමාර්ග හේතුවෙන් නුදුරු කාලීනව පෞද්ගලික අංශයට ලබා දෙන ණය සැලකිය යුතු ලෙස අඩු වනු ඇතැයි, අපේක්ෂා කෙරෙන අතර, සේවා වියුක්තිය ඉහළ යාමේ අවදානමක් ද පවතින බවයි, මුදල් මණ්ඩලය අවධාරණය කර ඇත්අතේ.                                               

    නුදුරු කාලීනව මතුපිට උද්ධමනය ඉහළ අගයක  පවතිනු ඇතැයි, පුරෝකථනය කර ඇතත්, මහ බැංකුව සහ රජය මේ දක්වා ගෙන ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සමස්ත ඉල්ලුම් පීඩනය පාලනය කිරීමට උපකාරී වනු ඇති බවත්, එමගින් ගෝලීය වෙළෙඳ භාණ්ඩ මිල ගණන් හි අපේක්ෂිත අඩු වීම් සහ ඒ හේතුවෙන් ඉදිරි කාලය තුළ දේශීය මිල ගණන් අඩු වීම තුළින් උද්ධමනය පාලනය වනු ඇති බව, මුදල් මණ්ඩලයේ අදහසයි.

    Latest News