ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය සහතික කිරීමට ජාතික සැලැස්මක් අවශ්‍යයි..ජනපති

සැප් 14, 2022

    ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සඳහා ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කේන්ද්‍ර සවිබල ගැන්වීමේ බහු ආංශික ඒකාබද්ධ යන්ත්‍රණයක්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) ආරම්භ කෙරිණි.

    මතුවිය හැකි ඕනෑම අර්බුදකාරී අවස්ථාවක වුවද, ජනතාවට සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමට හැකි සමාජ ආර්ථික පරිසරයක් තහවුරු කිරීම මෙමගින් අපේක්ෂා කරන අතර “කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය” සහ “කිසිදු දරුවෙක් මන්ද පෝෂණ තත්ත්වයට ගොදුරු නොවිය යුතුය” යන්න මෙම යාන්ත්‍රණය පිහිටුවීමෙහිලා ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වී තිබේ.

    මෙම යන්ත්‍රණය ස්ථාපිත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රී ලංකාවේ ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව තහවුරු කිරීමට ජාතික සැලැස්මක් ඔස්සේ කටයුතු කළ යුතු බවයි.

    කෘෂිකර්මාන්තය නවීකරණය මඟින් නිෂ්පාදනය සහ තරගකාරිත්වය ඉහළ නංවා ගනිමින් විදේශ විනිමය ඉපැයිය හැකි ක්ෂේත්‍රයක් බවට කෘෂිකර්මාන්තය පත්කර ගත යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

    අදාළ යන්ත්‍රණය කමිටු හතක් හරහා ක්‍රියාවට නංවා තිබෙන අතර ජනාධිපතිවරයාගේ සභාපතිත්වය යටතේ ජාතික ආහාර සුරක්ෂිත හා පෝෂණ සභාව ක්‍රියාත්මක වේ. ආහාර සුරක්ෂිතාව හා පෝෂණය පිළිබඳ ජාතික ඒකාබද්ධ යන්ත්‍රණය ජනාධිපති ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක අතර ආහාර සුරක්ෂිතතාව හා තාක්ෂණික උපදේශක කමිටුව අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මකය.

    ආහාර සුරක්ෂිතතාව හා පළාත් ඒකාබද්ධ යන්ත්‍රණය පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන අතර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් ඒකාබද්ධ යාන්ත්‍රණය ක්‍රියාත්මක වේ. ආහාර සුරක්ෂිතතාව හා පෝෂණය පිළිබඳ ප්‍රාදේශිය ඒකාබද්ධ යන්ත්‍රණය ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    ග්‍රාම නිලධාරි වසම් 14,022ක් තුළ ග්‍රාම නිලධාරි, සංවර්ධන නිලධාරි, කෘෂිකර්ම පරීක්ෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරි, සමෘද්ධි නියාමක, පවුල් සෞඛ්‍ය සේවිකා, ළඟම පාසලේ විදුහල්පති සහ පළාත් පාලන ආයතනයේ නියෝජිතයන් දෙදෙනෙකුගෙන් සමන්විත ආර්ථික පුනර්ජීවන හා ආහාර සුරක්ෂිතතා කමිටු පිහිටුවා එමගින් ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් ආර්ථික පුනර්ජීවයක් ඇති කොට දරිද්‍රතාව පිටුදැකීම, මන්දපෝෂණයෙන් දරුවන් මුදා ගැනීම, ප්‍රදේශයේ ආහාර සුරක්ෂිතතාව මෙන්ම ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට මෙම යන්ත්‍රණයෙන් කටයුතු කෙරේ.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ මහතාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක මෙම වැඩසටහනට අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපති ලේකම්වරයාගේ සිට ග්‍රාම නිලධාරී මට්ටම දක්වා සමස්ත රාජ්‍ය යන්ත්‍රණයත්, පෞද්ගලික අංශය, රාජ්‍ය නොවන සංවිධාන, වෘත්තිකයන්, ආගමික නායකයන් සම්බන්ධ කර ගෙන තිබේ.

    රටට අවශ්‍ය සමස්ත සහල් අවශතාවය මෙට්‍රික් ටොන් දසලක්ෂ 3.6ක් නිෂ්පාදනය කිරීම, වාර්ෂික ලොකු ලූනු අවශ්‍යතාවයෙන් 50%ක් රට තුළම නිපදවීමටත්, අර්තාපල් අවශ්‍යතාවෙන් 35% ක් දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් සැලසුම් කර ඇත.

    වාර්ෂික සෝයා අවශ්‍යතාව වන මෙට්‍රික් ටොන් 250,000න් 20%ක් 2025 වසර වන විට මෙරටදී නිෂ්පාදනය කිරීමට සැලසුම් කිරීම, වියලි මිරිස් අවශ්‍යතාවයෙන් 20%ක් 2025 වන විට දේශීයව නිෂ්පාදනය කිරීම, 2025 වන විට කුරක්කන්, මුං ඇට, කව්පි, තල හා රටකජු සම්පූර්ණ අවශ්‍යතාවය දේශීයව නිෂ්පාදනය කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

    බිත්තර හා කුකුළු මස් වැනි පශු සම්පත් සංවර්ධනයට වාර්ෂික අවශ්‍ය වන බඩ ඉරිඟු මෙට්‍රික් ටොන් 650,000න් 80%ක් මේ වසර තුළ නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇත. 2025 වන විට ශ්‍රී ලංකාවට අවශ්‍ය වන සමස්ත බඩ ඉරිඟු ප්‍රමාණය දේශීයව වගා කිරීමට බලාපොරොත්තු වේ.

    මහ කන්නයේ වි සහ බඩ ඉරිඟු නිෂ්පාදනය කිරිම සඳහා අවශ්‍ය යූරියා මෙට්‍රික් ටොන් 230,000ක්, TSP මෙට්‍රික් ටොන් ලක්ෂයක් සහ MOP මෙට්‍රික් ටොන් 182,000ක් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා ඉන්දියානු ණය ක්‍රමය යටතේ ආනයනය කිරීමටත් අනෙකුත් ආහාර භෝග නිෂ්පාදනයට අවශ්‍ය පොහොර පෞද්ගලික අංශයේ දායකත්වයෙන් ආනයනය කිරීමටත් මේ වන විට කඩිනම් පියවර ගෙන තිබේ.

    කෘෂි රසායනික හා කාබනික පොහොර හිඟයකින් තොරව වෙළඳපොළෙන් මිලදී ගැනීමට පහසුකම් සපයා දීමට නියමිත අතර යූරියා කිලෝ ග්‍රෑම් 50ක මිටියක් දැනට පවතින වෙළඳපොළ මිලට වඩා අඩු සාධාරණ මිලකට ලබාදීමට සැලසුම් කර ඇත.

    2022 මහ කන්නය සාර්ථක කර ගැනිමට අවශ්‍ය රසායනික පොහොර, කාබනික පොහොර, කෘෂි රසායනික ද්‍රව්‍ය හා බීජ නිසි කලට වෙළඳපොළ හරහා ගොවීන්ට සැපයීමේ යන්ත්‍රණය මේ වන විටත් රජය ආරම්භ කර තිබේ.

    කෘෂිකාර්මික හා පශු සම්පත් අංශයේ නිෂ්පාදන 2018 වර්ෂයේ නිෂ්පාදන මට්ටමට ගෙන ඒමට සැලසුම් කර ඇති අතර ඊට අවශ්‍ය බීජ, රසායනික ද්‍රව්‍ය, රසායනික පොහොර සත්ව ආහාර හා ඉන්ධන ඇතුළු කෘෂිකාර්මික යෙදවුම් ප්‍රමාණවත් පරිදි ලබාදීම සිදු කෙරේ.

    මෙම නිෂ්පාදන ඉලක්ක ළඟා කර ගැනීම සඳහා නූතන දියුණු වාරි ක්‍රම හා තාක්ෂණය භාවිත කිරීමට සැලසුම් කර ඇත.පොහොර යෙදීම සඳහා රජයේ සංකල්පය ප්‍රචලිත කිරීමට සැලසුම් කර ඇති අතර එමගින් නිෂ්පාදන ඵලදායිතාව වර්ධනය කර ගැනීමට බලාපොරොත්තු වේ.

     

    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා....

    හැම කෙනාටම ජීවත් වෙන්න අවශ්‍ය ආහාර අප ලබා දිය යුතුයි. අපේ ආර්ථිකය 7%ක ඍණ මට්ටමක තිබෙන්නේ. ආර්ථිකය හැකිළුණු විට ජනතාවගේ ආදායම අඩු වෙනවා. ජනතාවගේ ආදායම අඩු වුණහම ඒ අයට ජීවත් වෙන්න මාර්ගයක් නැති වෙනවා. අපි බැලුවොත් අද ඉදිකිරීම් අංශයේ විශාල විරැකියාවක් තිබෙනවා. ආණ්ඩුව නැවත මුදල් ලබාගෙන ඉදිරියට එනකන් මේ තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා. අද රටේ කොටසක් ඉන්නවා ආහාර නැතිව. මධ්‍යම පාන්තිකයින්ගේ ආදායම නැති වෙලා. කාගෙන්වත් ඉල්නන්න කැමති නැහැ, ඔවුන් ලැජ්ජයි, මේ ප්‍රශ්නයට අපිට ලබන වසරේදීත් මුහුණ දෙන්න වෙනවා. එම තත්ත්වය තවත් උග්‍රවෙලා තිබෙන්නේ අද ලෝකයේ තිබෙන ආහාර අර්බුදය නිසා.

    යුක්‍රේනයේ යුද්ධය නිසා අපට අවශ්‍ය තිරිඟු ලැබෙන්නේ නැහැ. සමහර විට ඕස්ට්‍රේලියාවේ මෙවර අස්වැන්න හොඳ වෙන්න පුලුවන්. නමුත් එය ප්‍රමාණවත් නැහැ.අනිත් පැත්තෙන් පාකිස්ථානයේ ජල ගැලීම් නිසා ආහාර වගාව නැති වෙලා, දැන් පාකිස්ථානය පරිප්පු මිලදී ගන්න තත්ත්වට පත් වෙලා. ගෝලීය ආහාර වෙළෙඳපොළේ ආහාර හිඟයක් ඇති වෙලා විශේෂයෙන් මිල වැඩි වෙනවා. එය ලංකාව වගේ කුඩා රටවල්වලට බලපානවා. දැන් ඉන්දියාව ආහාර අපනයනය කරන එක නවත්තලා තිබෙන්නේ. චීනයත් අඩු කරලා තිබෙන්නේ, මේ තත්ත්වය මේ දෙසැම්බර් මාසයේදී අවසන් වෙන්නේ නැහැ. ඊට වඩා වැඩි කාලයක් තිබෙනවා. එය අවුරුදු දෙකක් වෙන්නත් පුළුවන්.මේ ප්‍රශ්න දෙක නිසා විශාල ආහාර අර්බුදයකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙයි. ඒ එක්කම තෙල් මිල දැන් අඩු වුණාට සීත කාලය ආ විට මෙය වැඩි වෙනවා. ඉතින් මෙවැනි ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. එම නිසා මෙම ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න සියලුදෙනාට ආහාර ලැබිය යුතුයි. ඒ ආහාර අපි නිෂ්පාදනය කළ යුතුයි. ඒ සඳහා තමයි මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන්නේ. දැන් මහ කන්නය පටන්ගෙන තිබෙනවා. අපි පොහොර ලබා ගැනීමට දැනට ඩොලර් මිලියන 200ක් විතර සොයාගෙන තිබෙනවා. ඒ සඳහා තව ඩොලර් මිලියන 20ක් විතර අපිට සොයන්න වෙනවා.

    දැන් අපි කටයුතු කරමින් සිටින්නේ ඉන්ධන ලබා ගැනීමට. සමහර තැන්වල බීජ හිඟයක් තිබෙනවා. තායිලන්තය වැනි රටවලින් අවශ්‍ය බීජ ලබා ගැනීමට අමාත්‍යාංශ මට්ටමින් සාකච්ඡා කරගෙන යනවා. අපි මේ කටයුතු ක්‍රියාත්මක කරන්න ඕන. නිකන් වගා ව්‍යාපාරයක් ආරම්භ කරලා වැඩක් නැහැ.

    මොනවද රටට ඕන. කොහොමද අතිරික්තයක් ඇති නොකර මේ වැඩපිළිවෙළ කරගෙන යන්නේ. මොකද විශාල අතිරික්තයත් ඇතිවුණොත් වෙළෙඳපොළ සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අපිට අවශ්‍ය ආහාර කොහොමද ලබා ගන්නේ කියලා ජාතික සැලැස්මක් ඇති කරන්න ඕන. ඒක පළාත් මටිටමින්, දිස්ත්‍රික් මට්ටමින්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සිදු කළ යුතුයි. ඒ සඳහා සියලුදෙනා එකට වැඩ කළ යුතුයි.

    ආණ්ඩුවේ බලය තිබෙන්නේ විධායකයට. පළාත් සභාවේ බලය තිබෙන්නේ ජනාධිපතිට. දැන් පළාත් සභා නැහැ. මේ අංශ 03ම එකට එක්කරගෙන ඒකාබද්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න ඕන. අපේ දිස්ත්‍රික් ලේකම්වරුන්ට ඒ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න සම්පූර්ණ බලතල තිබෙනවා. ඒ වගේම අමාත්‍යාංශ ලේකම්වරුනුත්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඒ පණිවිඩයම තමන්ගේ මට්ටමේ ඉන්න අයට දෙන්න ඕන. කවුරුත් දිසා ලේකම්වරු ඇවිල්ලා කියන්න එපා අරයා හින්දා මෙයා හින්දා වැඩ කරන්න බැරි වුණා කියලා.

    ඒක ආරම්භයේදීම කියලා ලබන සිකුරාදාම මේ අය සමඟ සාකච්ඡාවක් පවත්වලා කියන්න කොහොමද වැඩ කරන්නේ, ඊට පස්සේ කොහොමද සැලැස්ම හදන්නේ කියලා. එතන සිට යන්නේ කොට්ඨාසයට, කොට්ඨාස මට්ටමින් සෑම කෙනෙක්ම එක් කරගෙන නිෂ්පාදනයට යොදවන්න. ග්‍රාම නිලධාරී මට්ටමින් නිලධාරීන් පස් දෙනෙක් ඉන්නවා. ඒ පස්දෙනා එක් කර ගන්න, අවශ්‍ය නම් විදුහල්පතිවරුනුත් එක් කර ගන්න, මේ සියලුදෙනා එක් කර ගනිමින් වගා ව්‍යාපාරයට යන්න. සැලැස්ම අනුව මොකක්ද කරන්නේ, කොතන ද කරන්නේ කියලා තීරණය කරන්න. ග්‍රාම නිලධාරී කොට්ඨාසය පළමු වතාවට පරිපාලනයට පමණක් නොවේ නිෂ්පාදනයටත් යොදවනවා. එතකොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත් එම නිෂ්පාදනයට එක් වෙනවා. දැන් මෙතනින් මේ වැඩසටහන ආරම්භ කරන්න. ඒක අනාගතයේදී සංවර්ධනයට යෙදවිය හැකියි.

    දෙවනුව තිබෙන්නේ අස්වැන්න එකතු කරන එකත්, නාස්තිය අඩු කරගන්න එකත්. ඒ පිළිබඳව මේ නිලධාරීන් දැනුවත් කරනවා, ඒ සඳහා අවශ්‍ය සහායත් ලබාදිය හැකියි. නාස්තිය 10%කින් 25%කින් අඩුකර ගත්තොත් අපි සාර්ථකයි. ඊළඟට ගබඩා කිරීම, කොහොමද ගබඩා කරනනේ, ඕනම ආහාර ද්‍රව්‍යයක් ගබඩා කරන්න ඕන. ඊළඟට සැපයීම, ඒ ක්‍රමවේදය ගැන අපි දැනුවත් කරන්නම්. ප්‍රධාන සමාගම් කිහිපයක් එතනට එකතු කර ගන්න පුළුවන්. මේකට පෞද්ගලික අංශයේ සහායත් ලබා ගත යුතුයි. ඔවුනුත් එක් කරගෙන මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යා යුතුයි.

    අපි ඉතා සාර්ථක මහ කන්නයක් කළ හොත් අපිට මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න එක මාර්ගයක් වෙනවා. සාර්ථක යල කන්නයක් ඊළඟට තිබෙනව නම් ලබන වසරේ ආර්ථික නිෂ්පාදනය වැඩි වෙනවා.

    ඒ වගේම අපි සංචාරක ව්‍යාපාරය දියුණු කර ගන්න ඕන. පාඩු ලබන සමහර රජයේ ව්‍යාපාර රජයෙන් ඉවත් කරලා ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි . ඒ මුදල් සියල්ලම අපි ඩොලර්වලින් ගන්නේ. ඒ සියල්ල අරගෙන සංචිතයක දානවා. මේ විදියට ඩොලර් බිලියන 03ක් හොයාගන්න පුළුවන් නම් ලබන වසර වන විට රුපියල ශක්තිමත් වෙනවා. මේ විදියට කළොත් අපිට ඉදිරියට යන්න පුළුවන්.

    ඊළඟට යන්නේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට. කෘෂි නිෂ්පාදන වැඩි කරන්න, තරඟකාරිත්වය වැඩි කරන්න කටයුතු කරනවා. 2023 අවසන් වෙනකොට අපි නවීකරණ වැඩසටනට යා යුතුයි. අපි කෘෂිකර්මාන්තයෙන් විදේශ විනිමය උපයා ගත යුතුයි. තේ, පොල්, රබර් පමණක් නෙවෙයි. 2050 වන විට අපේ ජනගහණය මිලියන 25යි. වැඩිහිටි ප්‍රමාණය වැඩියි. නමුත් සවුදි අරාබියේ ඉඳලා ඉන්දුනීසියාව වෙනකොට ජනගහනය මිලියන 500ක් වැඩි වෙනවා. ආදායම වැඩි වෙනවා. එසේ නම් ඒ අයට අවශ්‍ය ආහාර සැපයීම අපිට සිදු කළ හැකියි. අපි ඒ සඳහා සැලසුම් කළ යුතුයි. ඒ වගේම දිස්ත්‍රික් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම සේවා කොට්ඨාස මට්ටිම්න් වෙනත් නිෂ්පාදන සිදු කිරීම පිළිබඳ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා.

    අද මේ රටේ කුඩා කර්මාන්ත ක්ෂේත්‍රයේත් කඩා වැටීමක් තිබෙනවා. බැංකු ණය ගෙවා ගන්න බැරිව විශාල ගැටලුවක් ඇති වෙන්න ඉඩ තිබෙනවා. බිම්මට්ටමේ සිට මොකක්ද සිදු වී තිබෙන්නේ කියලා බලලා ඒ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතුයි. ප්‍රශ්න විසඳන්නේ නැත්නම් විශාල කැලඹීමක් ඇති වෙනවා. ගම්මට්මින් ප්‍රශ්න විසඳෙනවා නම් ඊළඟ වසර 25ට අවශ්‍ය ආර්ථිකයේ පසුබිම සැකසෙනවා.

    මේ වැඩපිළිවෙළට ඔබ සියලුදෙනාගේ සහාය ලබා දෙන්න. එය කඩිනමින් ආරම්භ කරන්න. මෙම වැඩකටයුත්තට අවශ්‍ය පරිපාලන ආයතන සියල්ල අගමැතිතුමා යටතේ තිබෙන්නේ. මේ පිළිබඳ අවධානය යොමු කරලා අඩු පාඩු මඟහරවාගෙන ඉදිරියට යන්න. මෙය සාර්ථක කර ගැනීමට ඔබ සියලුදෙනා කැපවෙන්න. අපි මෙම වැඩසටහන ඔක්තෝබර් පළමු සතිය වන විට ආරම්භ කරලා ඉදිරියට ගෙන යමු. ලංකාවේ ආහාර ප්‍රශ්නය විසඳලා ආර්ථිකයේ වෙනසක් ඇති කරන්න ඔබ සියලුදෙනාගේ සහාය දෙයි කියලා මම විශ්වාස කරනවා.

    අග්‍රමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කෘෂිකර්ම හා වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර, සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජාතික ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ යන මහත්වරු සහ ආණ්ඩුකාරවරු, අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරු, පළාත් ප්‍රධාන ලේකම්වරු, බැංකු හා සංස්ථා සභාපතිවරු සහ රාජ්‍ය නිලධාරීහු මෙම සමාරම්භක අවස්ථාවට එක්ව සිටියහ.

    Latest News