අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් අගමැති හමුවේ...

සැප් 13, 2022

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොං මහතා සහ ජ්‍යේෂ්ඨ වැඩසටහන් නිලධාරිනී ‍ලෝරන්ස් මර්සාල් මහත්මිය ඊයේ (12) අග්‍රාමාත්‍යවරයා මුණගැසුණා.

    අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම්වරයා මෙරටට පැමිණ ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයාව සිටියදී කළ ආරාධනයකට අනුවයි.  මහජන සහභාගීත්වය සහිත ශක්තිමත් ආංශික අධීක්‍ෂණ කාරක සභා පිහිටුවීම ඇතුළු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මෑත කාලීනව ගත් වඩාත් සාධනීය පියවරයන් පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා චොන්ගොං මහතා‍ වෙත මෙහිදී කරුණු පැහැදිලි කළා.

    ජාතික අවශ්‍යතා සඳහා ප්‍රතිපත්තිමය සහ ‍ප්‍රමුඛත්වය ලබා දිය‍ යුතු කරුණු සම්බන්ධයෙන් මඟ පෙන්වීමට පාර්ලිමේන්තුවේ සියලු පක්‍ෂ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු ජාතික සභාවක් පිහිටු වීමට අපේක්‍ෂා කරන බවද, අග්‍රාමාත්‍යවරයා කියා සිටියා‍. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වැදගත් බැවින් මෙරට පාර්ලිමේන්තුවේ විවාද, සජීව රූපවාහිනී විකාශයක් ලෙස ගෙන යන බවද, අන්තර් පාර්ලිමේන්තු සංගමයේ නියෝජිත පිරිස හමුවේ සදහන් කෙරුණා. 

    එහිදී, ජනතාවගේ අවශ්‍යතා සහ ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීමට රජය ගන්නා  උත්සහය මහ ලේකම්වරයාගේ පැසසුමට ලක් වුණා.  අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මහ ලේකම් මාර්ටින් චොන්ගොං මහතා සහ ජ්‍යේෂ්ඨ වැඩසටහන් නිලධාරිනී ‍ලෝරන්ස් මර්සාල් මහත්මිය  ඊයේ පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ද මුණ ගැසුණා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව කථානායකවරයා මෙහිදී අවධාරණය කළ අතර, මැතිවරණ ක්‍රමය සංශෝධනය සහ 22 වැනි සංශෝධනය පිළිබඳවද අදහස් පළ කළා.

    Latest News