ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයෙන් සිව් අවුරුදු උපාධි පාඨමාලාවක්

අගෝ 26, 2022

    ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය, පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණය පිළිබඳ සිව් අවුරුදු උපාධි පාඨමාලාවක් ආරම්භ කර තිබෙනවා.

    එම ක්‍ෂේත්‍රයේ දෙස් විදෙස් අවශ්‍යතාවන්ට කුසලතාවන්ගෙන් පිරි, සන්නද්ධ ශ්‍රම බලකායක් නිර්මාණය කිරීම අරමුණයි. මෙහි සමාරම්භක උත්සවය
    කොළඹ - බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දී ඊයේ පැවැත්වුණා.

    රත්මලානේ පිහිටා ඇති ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය යට‍තේ ක්‍රියාත්මක වන්නක්. මේ ආයතනය මගින් මෙතෙක් පරිනමන ලද්දේ ඇඟළුම් ක්‍ෂේත්‍රය සම්බන්ධ ඩිප්ලෝමා පාඨමාලා පමණයි. මෙතැන් සිට එම ආයතනය විසින් පේෂකර්ම හා ඇඟළුම් තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී උපාධි පාඨමාලාවක් පවත්වනු ලබනවා. අනෙකුත් ආයතනවල උපාධි පාඨමාලාවලට වඩා අඩු මුදලක් අය කිරීම මෙහි විශේෂත්වයයි. පාඨමාලාවට ප්‍රායෝගික හා න්‍යායික දැනුම මෙන්ම ව්‍යවසායකත්වය දියුණු කිරීම සඳහා වූ වැඩසටහන්ද ඇතුළත්.

    අමාත්‍ය රමේෂ් පතිරණ, ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න යන මහත්වරුන් හා අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.

    ඇඟළුම් ක්‍ෂේත්‍රය කියන්නේ කලක් ශ්‍රී ලංකාවට ඉහළම විදේශ විනිම ගෙනා ක්‍ෂේත්‍රයක්. ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනය පසුගිය වසර 13 තුළ ලක්ෂයකට අධික වෘත්තීයවේදීන් පිරිසක් ලෝකයට බිහිකර තිබෙනවා. මේ වසරේ සිට ආයතනය මගින් උපාධි පාඨමාලාවක් ආර්ම්භ කර තිබීම ඉතා විශේෂයි. මෙහිදී ප්‍රමාණත්මක විශාලත්වයට වඩා ගුණානාත්මක භාවයට වැඩි තැනක් හිමි වනවා. මෙම උපාධි පාඨමාලාව මගින් අපේක්‍ෂිත ප්‍රධාන අරමුණ වන්නේ වැඩි වටිනාකමක් සහිත සහ අගය එකතු කරන ලද නිෂ්පාදන බිහි කර, වඩා උසස් වෙළෙඳපොළ වෙත පිවිසීමයි. මෙම උපාධි පාඨමාලාව මගින් එම අරමුණට ළඟා වීමට සහයෝගයක් ලැබෙනු ඇති. එසේම ලංකාවේ ඇඟළුම් ක්‍ෂේත්‍රය තුළ බිහිවන පුද්ගලයින්ට වඩා හොද පුහුණුවක් ලබා දීමට ද හැකි වනු ඇති.

    Latest News