ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කළ යුතුයි - ජනපති

අගෝ 26, 2022

    ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව තාක්ෂණික දැනුමෙන් සන්නද්ධ කළ යුතු බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

    ශ්‍රීමත් ජෝන් ‍කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ ඊයේ සවස පැවති වර්ණ ප්‍රදානොත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා ඒ පිළිබඳ අදහස් පළ කළා.

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට පැමිණි ජනාධිපතිවරයා වෙත හමුදා උත්තමාචාරයක් පිරිනැමුණු අතර, ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යාල ධජ වර්ණ සඳහා සර්ව ආගමික ආශිර්වාද ගැන්වීමද සිදු කෙරුණා. ජනාධිපති වර්ණ හා විශ්වවිද්‍යලයීය වර්ණ ප්‍රදානය සිදු කෙරුණේ, ඉන් අනතුරුවයි. විශ්වවිද්‍යාල ධජ හා වර්ණ පිළිගැන්වීම සිදු කරන ලද්දේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරල් මිලින්ද පිරීස් මහතා විසින්.

    ජනාධිපතිවරයා වෙනුවෙන් මෙහිදී විශේෂ සමරු තිළිණයක් පිළිගන්වනු ලැබුවා. අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු හා ත්‍රිවිධ හමුදාපතිවරුද, පොලිස්පතිවරයා සහ විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් ඇතුළු පිරිසක් ද‍ මේ අවස්ථාවට එක්ව සිටියා.

    අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,ශ්‍රීමත් ජෝන් ‍කොතලාවල වලව්වේ පිහිටි කෞතුකාගාරය නැරඹීමට ද එක්වුණා.

    Latest News