22 සංශෝධනයට එරෙහි පෙත්සම් අදත් විභාගයට

අගෝ 23, 2022

    රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර  තිබෙන පෙත්සම් අද දෙවැනි දිනටත් විභාග කිරීම ආරම්භ කෙරුණා. ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ පෙත්සම් විභාගය පැවැත් වෙනවා.

    පෙත්සම් විභාගය ආරම්භ කරමින් අද අතරමැදි පෙත්සමක් ඉදිරිපත් කළ, පාහියංගල ආනන්ද සාගර හිමියන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.

    විනීත පෙරමුණේ ලේකම්, නාගානන්ද කොඩිතුවක්කු, වෛද්‍ය ගුණදාස අමරසේකර, නීතිඥ නුවන් බැල්ලන්තුඩාව, තිස්ස බණ්ඩාර රත්නායක, එස් ඩී ජේ කුලතුංග, බී. පී. දහනායක, ඇතුළු පුරවැසියන් 9 දෙනෙකු විසින් අදාළ පෙත්සම් ඉදිපත් කරනු ලැබුවා. එහි වගඋත්තරකරු ලෙස, නීතිපතිවරයා නම් කර තිබෙනවා. 

    පෙත්සම්කරුවන් කියා සිටින්නේ, රජය  විසින් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඉදිරිපත් කිරීමට යෝජිත ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 10 වැනිදා පාර්ලිමේන්තු ‍න්‍යාය පුස්තකයට ඉදිරිපත් කළ බවයි. එහි ඇතැම් වගන්ති වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බවද, පෙත්සම්කරුවන් චෝදනා කළා.

    ඒ තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්  සහතික කර තිබෙන මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වීම් සිදු වන බවද, ‍පෙත්සම්වලින් පෙන්වා දී තිබෙනවා. එබැවින් අදාළ ‍පනත් කෙටුම්පතේ ඇතුළුත් වගන්ති සම්මත කිරීමට අවශ්‍යනම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් හා ජනමත විචාරයකින් සම්මත  විය යුතු බවට තීන්දුවක් ලබා දෙන ලෙසද, පෙත්සම්වලින් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

    Latest News