අරගල භූමියෙන් ඉවත් වන්නැයි, කළ නියෝගයකට එරෙහිව ගොනු කළ පෙත්සම් ඉල්ලා අස්කර ගැනේ

අගෝ 10, 2022
    ගාලුමුවදොර ගෝඨා ගෝ ගම අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලීසිය විසින් කර ඇති නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා අරගල කරුවන් සිව් දෙනෙකු විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම් හතරක් අද අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.
    මෙම පෙත්සම් සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. 
    එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි එහි.ඒ.සුමන්දිරන්, සාලිය පීරිස් යන ජනාධිපති නීතිඥවරු ඇතුළු නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයින් ගාලුමුවදොර ප්‍රදේශයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බවයි.
    එබැවින්  අදාළ පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යාමට ඔවුන්ට අවශ්‍යතාවයක් නොමැති බවත් ඔවුන්ගේ නීත්‍යානුකූල අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි ඒවා ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
    එම ඉල්ලීම  විරුද්ධ නොවන බව අදාළ පෙත්සම නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සහ පොලිස්පතිවරයා සහ කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන යන මහත්වරු අධිකරණයට දැනුම් දුන්නා.
    සිය නීත්‍යානුකූල අයිතිවාසිකම් වලට අගතියක් නොවන පරිදි මෙම එකඟතාවය පළ කරන බවයි නාගරික සංවර්ධන අධිකාරිය සහ පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ.
    ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අභියාචනාධිකරණය ඒවා මුල් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප කිරීමට ද නියෝග කලා
    අරගලයේ නියුතු පූජ්‍ය මිරහවත්තේ කාශ්‍යප හිමි,  ඉරෝෂ් අල්පොන්සු, අසංක අබේරත්න සහ ලහිරු ඇන්ටන් මධුෂාන් ප්‍රනාන්දු යන අය විසින් එම පෙත්සම් ඉදිරිපත් කර තිබුණා.එහි වගඋත්තරකරුවන් වශයෙන් කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නාගරික සංවර්ධන  අධිකාරිය සහ නීතිපතිවරයා නම් කර තිබෙනවා.
    පෙත්සම්කරුවන් කියා සිටින්නේ ඉකුත් සිකුරාදා පස්වරු 5.00ට පෙර ගෝඨා ගෝ ගම අරගල භූමියෙන් ඉවත් වන ලෙස පොලීසිය විසින් නිවේදනයක් නිකුත් කළ බවයි.
    එවැනි ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කිරීමට පොලීසියට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ඒ අනුව එම නියෝගය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් මෙම පෙත්සම්වලින් ඉල්ලා තිබුණා.

    Latest News