ආපදා තත්වයෙන් තිදෙනෙක් මරුට... සිව් දෙනෙකු ඇතුරුදන්

අගෝ 03, 2022

    අධික වැසි සමග ඇතිවූ ආපදා තත්වය හේතුවෙන් තිදෙනෙකු මියගොස් සිව් දෙනෙකු ඇතුරුදන්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසනවා.  පීඩාවට පත්වූ පිරිස දොළොස්දහසකට අධිකයි.  

    නිරිතදිග මෝසම් තත්වය සක්‍රීය වීමත් සමග බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවලත්, දිවයිනේ නිරිතදිග කොටසේත් පවතින වැසි සහ සුළං තත්වය තවදුරටත් බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි හෝ ඇති විය හැකියි. 

    සබරගමුව පළාතේ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ක පමණ තද වැසි ඇති විය හැකියි.  උතුරු සහ උතුරු මැද පළාත්වලත්, වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ. 

    මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු මැද, බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලත් සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50 ක් දක්වා වැඩිවිය හැකි බවයි කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ.

    Latest News