අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි “ධානිස් අලී” අත්අඩංගුවට...

ජූලි 27, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසකට මුදල් අමාත්‍යාංශ‍යේ නිලධාරීන්  හමුවීමට බාධා කරමින් පසුගිය ජුනි 20 වැනිදා කලහකාරී අයුරින් හැසිරීමේ චෝදනා මත අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි “ධානිස් අලී” නැමැත්තා, ඩුබායි රාජ්‍යයට  පලා යාමට උත්සහ කිරීමේ දී කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපෙ‍ළේ  දී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

    ඒ, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ  සහ ගුවන්තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින්.  පසුගිය 13 වැනිදා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුල් වී ප්‍රචණ්ඩකාරී අයුරින් හැසිරීම සම්බන්ධයෙන් ද “ධානිස් අලී” ට චෝදනා එල්ල වී තිබෙනවා.

    පසුගිය 13 වැනිදා ධානිස් අලී ඇතුළු විරෝධතාකරුවන් පිරිසක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.  ඒ, විරෝධතාවට සම්බන්ධ වැඩසටහන් පමණක් විකාශය කරන ලෙසට බල කරමින්.

    විරෝධතාකරුවන් සංස්ථා නිලධාරීන්ට තර්ජනය කර බලහත්කාරයෙන් ප්‍රවෘත්ති විකාශයක් හරහා ඔවුන්ගේ අදහස් පළ කළා.

    නමුත්, එම අවස්ථාවෙන්ද සෑහීමට පත් නොවුණු “ධානිස් අලී” ඇතුළු විරෝධතාකරුවන්, ජාතික රූපවාහිනියේ  වැඩසටහන් පෙළගැස්ම ඔවුන්ට අවශ්‍ය ආකාරයෙන් සකස් විය යුතු බවද කියා සිටියා.  

    මෙම සිදුවීමත් සමග “ධානිස් අලී”ඇතුළු එම  පිරිස රූපවාහිනී සංස්ථා පරිශ්‍රයෙන් ‍ඉවත් කිරීමට ආරක්‍ෂක අංශ විසින් පියවර ගනු ලැබුවා.  සිද්ධිය සම්බන්ධයෙන්, පොලීසිය මේ වන විට පුළුල් විමර්ශනයක් සිදු කරමින් සිටිනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ඇති වූ කලහකාරී සිදු වීමට අමතරව “ධානිස් අලී” ට තවත් චෝදනා රැසක් ද, එල්ල වී තිබෙනවා.  

    මීට අමතරව, පසුගිය ජුනි 9 වැනිදා පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවැති විරෝධතාව අතරතුරදී පොදු දේපලවලට අනර්ථය සිදු කිරීම සම්බන්ධයෙන් ද “ධානිස් අලී” ට චෝදනා එල්ල වූ අතර, ඔහු  කොටුව ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදා හැර තිබෙනවා. 

    පසුගිය ජුනි 12  වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලය ආශ්‍රිතව රැඳී සිටි යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට පහරදීම සහ බලහත්කාරයෙන් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් ද “ධානිස් අලී”  චෝදනා ලැබ සිටින පුද්ගලයෙක්.

    පසුගිය 20 වැනිදා ගාලුමුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුවට අනර්ථයක් සිදු කරන බවට ලද තොරතුරු මත එම ස්ථානයට  ගිය  පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් සහ ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ද “ධානිස් අලී” ට ‍චෝදනා එල්ල වී තිබෙනවා.

    මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පොලීසිය අධිකරණයට ද කරුණු වාර්තා කර තිබෙනවා.  මෙවැනි චෝදනා රැසක් එල්ල වී ඇති පසුබිමකයි. “ධානිස් අලී” විදෙස් රටකට පලා යාමට උත්සහ දරා ඇත්තේ. අපරාධ ‍පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ සහ ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ නිලධාරීන්  විසින්  “ධානිස් අලී” ශ්‍රී ලංකා ගුවන් සේවයට අයත් “යූ එල් 225” යානයේ රැඳී සිටියදී අත් අඩංගුවට ගනු ලැබුවා.                            

    පොලීසිය  පවසන්නේ, 31 හැවිරිදි වියේ පසුවන  “ධානිස් අලී” කුරුණෑගල - වෑබඩ  ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි. ඔහු මේ  වන විට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බාරයේ සිටින අතර, වැඩිදුර විමර්ශන සිදු  කරන බව, පොලිස් මූලස්ථානය පවසනවා.

    Last modified on බදාදා, 27 ජූලි 2022 18:24

    Latest News