වකුගඩු රෝගීන්ගේ සහන ජල ව්‍යාපෘතියක වැඩ, අතරමග (වීඩියෝ)

මාර් 11, 2019

    විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් සඳහා වන පානීය ජල ව්‍යාපෘතියක් නැවතී ඇතැයි විල්ගමුව ප්‍රාදේශීය සභාව පවසයි.

    වකුගඩු රෝගය බහුලව පවතින විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පමණක් මේ වන විට වකුගඩු රෝගීන් 3,000කට අධික පිරිසක් සිටිති. විල්ගමුවේ ජනතාවට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමට ව්‍යාපෘතිය ආරම්භ කර ඇති අතර එය ඇනහිටීම හේතුවෙන් ඔවුන් තවදුරටත් පීඩාවට පත්ව ඇති බව වාර්තාවේ. එම ප්‍රදේශවල ජනතාවට රජයේ වියදමින් පානීය ජලය ලබා දෙන බව විල්ගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ .ඒ. ජී. තෙන්නකෝන් මහතා පවසයි.

    මාතලේ විල්ගමුව ප්‍රදේශයෙන් ගලා බසින හීන් ගඟෙන් වතුර පානය කරන ඒ අවට කිසිදු අයකුට වකුගඩු රෝග නොමැතිවීමත් කිසිදු මුත්‍රා රෝගයක් හට නොගැනීමත් පිළිබඳව සිදුකළ පර්යේෂණයකින් පසුව මෙම ජල ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

    මෙම වකුගඩු රෝග නිවාරණ ජල ව්‍යාපෘතිය මුරකරුවෙකුට පමණක් සීමා කරමින් ඉදිකිරීම් අතරමග නවතා දමා ඇත. විශාල ජල ගබඩා හතක ඉදිකිරීම් අවසන්ව ඇති අතර ජල නල එලීමද ප්‍රදේශ ගණනාවක අවසන් බවත් ඔවුහු සඳහන් කරති.

    මෙම හීන් ගඟ පානීය ජල ව්‍යාපෘතිය පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමුකොට නැවත මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලෙස විල්ගමුව ප්‍රදේශවාසීහු ඉල්ලීමක් කර සිටිති.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 19:12

    Latest News