නව මාර්ග ඔස්සේ විදෙස් රැකියා (වීඩියෝ)

මාර් 11, 2019

    නව රැකියා මාර්ග ඔස්සේ, ශ්‍රී ලාංකිකයන්ට විදෙස් රැකියාවලට යොමුවීමේ අවස්ථාව උදාකරන බව, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    ඒ සඳහා විදෙස් රැකියා පුහුණු කිරීම් ආයතන සංඛ්‍යාව වැඩි කිරීමට රජය තීරණය කර ඇති බව අග්‍රාමාත්‍යවරයා කියා සිටී. විදෙස් රැකියාවල නිරත දෙමව්පියන්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ “රන් නැණ පහන්“ උත්සවයට අද සවස එක්වෙමින්, රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    උත්සවය පැවැත්වුණේ, අරලියගහ මන්දිරයේදී. විදෙස් රැකියාවල නිරත බස්නාහිර පළාතේ දෙමව්පියන්ගේ දරුවන්ට මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරිණ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊට වැය කළ මුදල, රුපියල් මිලියන 20කට ආසන්නයි. පහේ ශිෂ්‍යත්වය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ යන විභාග විශිෂ්ට අයුරින් සමත්වූ ශිෂ්‍ය-ශිෂ්‍යාවන් 773 දෙනෙකුට ශිෂ්‍යත්ව හිමිවූහ. ඒ, රුපියල් විසි දහසේ සිට, විසිපන් දහස දක්වා. උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා...

    “අද අපේ රටේ වැඩිම විදේශ විනිමය ලබන්නේ විදේශ රැකියාවලින්. ඒ කරන සේවය මතක තියාගෙන තමයි විශේෂයෙන්ම මේ ශිෂ්‍යත්වය දෙගුණයක් කළේ. මම හිතන්නේ ඕනෙ කෙනෙකුගේ හීනය, බලාපොරොත්තුව, නිවසක අයිතියක් ලබාගැනීම. දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබල දෙන්න. මේ අය-වැයෙන් තවත් අලුත් යෝජනාවක් ගෙනාවා. තමන්ට නිවසක් හදන්න උවමනානම් රුපියල් මිලියන 10ක ණයක් ලබාදෙනවා. අපි වෙනුවෙන් සේවයක් කරනවානම් අපේ යුතුකම තියෙනවා ඒ සියලු දෙනාටම අතදීලා උදව්, උපකාර කරන්න. එදා රැකියාවලට ගියේ මැද පෙරදිග. ඒ නිසා දැන් විශේෂයෙන්ම විදේශ රැකියාවල යෙදෙන සියලු දෙනාටම වැඩි වැඩියෙන් ශිල්ප දැනුම ලබාදෙන්න, අධ්‍යාපනය ලබාදෙන එක තමයි අපේ අරමුණ වෙලා තියෙන්නේ. අපේ ඇමතිතුමා ජපන් ආණ්ඩුවත් එක්ක සාකච්ජා කරනවා. ජපානයට ගිහින් සේවය කරන අවස්ථා අනාගතයේදී බොහෝ දෙනෙකුට ලැබෙයි කියලා මම කියන්න කැමතියි“ යැයි අග්‍රාමාත්‍යතුමා කියා සිටියේය.

    Last modified on සදුදා, 11 මාර්තු 2019 20:18

    Latest News