යල කන්නයට ඉන්ධන දෙන්න ඉන්ධන හල් 247ක්

ජූනි 23, 2022

    2022 යල කන්නයේ ගොවීන් සඳහා ඉන්ධන නිකූත් කිරිමට දිවයින පුරා ඉන්ධනහල් 247කින් පහසුකම් සැලසීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    ඊයේ (22) පස්වරුවේ කෘෂි පර්යේෂණ නිලධාරින්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග සාකච්ඡා කළ අමාත්‍යවරයා මීලඟ මහ කන්නයේ දී අප රටේ සියලුම කුඹුරු අස්වැද්දීම සඳහා ගොවි ජනතාව උනන්දු කරවීමේ වගකීම කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු බව ද සඳහන් කළේය.

    මෙවර යල කන්නය කුඹුරු වගා කිරීම සඳහා ගොවි ජනතාව මුහුණ දුන් ප්‍රධානම ගැටළුව වුයේ ඉන්ධන හිඟයයි. නමුත් රජය සමග සාකච්ඡා කර ගොවීන්ට වගාව සඳහා අවශ්‍ය ඉන්ධන සැපයීම සඳහා දිවයින පුරා පිහිටි ඉන්ධනහල් 247ක් නම් කර ඒ මගින් ගොවින්ට අවශ්‍ය ඉන්ධන ලබා දීමට පියවර ගනු ලැබීය. මෙම වැඩ පිළිවෙළ නිසා ගොවීන් කුඹුරු වගාව ආරම්භ කළේය.

    ජූනි මාස මුල් සතියේ මෙරට වගා කර තිබු කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 238,000ක් විය. ඒ මට්ටම අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 38ක් පමණ විය. නමුත් සති තුනකට ආසන්න කාලයක් තුළ වගා කරන ලද කුඹුරු ප්‍රමාණය හෙක්ටෙයාර් 473,000 ඉක්මවා ගොස් තිබේ. ඒය අපේක්ෂිත ඉළක්කයෙන් සියයට 90 ඉක්මවා ගොස් තිබේ.

    කෙසේ වුවද මීලඟ මාස කන්නය තුළ අප රටේ සියලුම කුඹුරු අස්වැද්දීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉළක්කයයි. ඒ සඳහා සියලුම කෘෂි පර්යේෂණ නිලධාරින් වීසින් කැපවී කටයුතු කළ යුතුය. 2022/ 23 මාස් කන්නයෙන් පසුව රට තුළ පුරන් කුඹුරු යනුවෙන් ඉඩම් විශේෂයක් රට තුළ නොතිබිය යුතුය. ඒ සඳහා සියලුම වගකීම් කෘෂි පර්යේෂණ නිලධාරින් බාර ගත යුතු යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

    මෙම සාකච්ඡාවට ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද සහභාගි වූහ.

    Latest News